රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 25 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව මෙරට මුහුදු කලාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් P 177 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ගොඩබිම දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර සිදු කළ පරික්ෂාවේදී, එම ඩිංගි යාත්‍රාව තුල ගෝනි උර හයක (06) පාර්සල් වශයෙන් අසුරන ලද කේරල ගංජා කිලෝ 216 ග්‍රෑම් 750ක පමණ තොගයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ වියළි කහ කිලෝ 19ක පමණ ප්‍රමාණයක්ද සමඟින් එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 65 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවට ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සහ කරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 34ත් අතර වයසේ පසුවන කන්කසන්තුරය වළලායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය, වියළි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.