නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මැයි මස 11 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම් කටයුතු, පුහුණු කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානායේ ආඥාපති, රියර් අද්මිරාල් ජානක නිශ්ශංක විසින් නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානය වෙත ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදීත්, එම විධානයේ නාවිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේදීත්, නාවික හමුදාවේ ඉදිරි අභිප්රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව නාවික පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, රට මුහුණදී ඇති දුෂ්කර කාලවකවානුව හමුවේ වුවද, නාවික හමුදාවේ ප්රමුඛ රාජකාරිය වන සාගරය ඔස්සේ රටට එල්ල වන අභියෝග මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත්, වත්මන් ආරක්ෂක වතාවරණය හමුවේ නාවික හමුදාවේ එම වගකීම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටු කිරීම සඳහා නිලධාරීන් සහ නාවිකයන්ගේ කැපවීම නාවික හමුදාව අපේක්ෂා කරන බවත් පවසන ලදි.
යුදමය වතාවරණයක් නොමැති වුවද, සාගර කලාපය ඔස්සේ සිදුවන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා සහ රට හමුවේ පැන නඟින වෙනත් ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා හමුදා පුද්ගලයන් ලෙස සූදානමින් සිටීම අවශ්‍ය බැවින්, ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය පවත්වා ගැනීම අවශ්‍ය බව පැවසූ නාවික හමුදාධිපති, රට අභියෝගාත්මක කාල වකවානුවක් පසුකරමින් ආර්ථික අභියෝග ජය ගනිමින් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බවත්, බාහිර පාර්ශවයන්ගේ සමාජ දේශපාලන බලපෑම්වලට හසුවී නොමඟ යෑමෙන් වලකින ලෙසත් අවධාරණය කරන ලදි.
නිලධාරීන් සහ නාවිකයන් තම පවුලෙන්, පාසලෙන් සහ සමාජයෙන් ගොඩනගා ගත් යහපත් චරිතය හා නායකත්ව ගුණාංග නාවික හමුදාව තුල තවදුරටත් වැඩිදියුණු කර ගනිමින් එකිනෙකා අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සහ අංශ ක්‍රමය නිසි ලෙස පවත්වා ගනිමින්, නීති විරෝධි කටයුතු සඳහා යොමුවීමෙන් වැළකී යහපත් දිශානතියකට නායකත්වය ලබාදීම අවශ්‍ය බවත් නාවික හමුදාධිපති පවසන ලදී. එලෙස කණ්ඩායම් හැඟිමෙන් කටයුතු කරමින් අතීතයේ ත්රස්තවාදයට එරෙහි යුද්ධය මුහුදේදී සාර්ථකව ජය ගැනීමට නාවික හමුදාවට හැකිවූ බව පැවසූ නාවික හමුදාධිපති, එම කණ්ඩායම් හැඟීම මඟින් වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට හැකි බවත්, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය හා සුභසාධන අංශය මඟින් ක්‍රියාවට නංවා ඇති සුභසාධන ව්‍යාපෘති මඟින් මෙන්ම, සළාක දීමනාව ඉහළ නැංවීම මඟින්ද නාවික පුද්ගලයන්ට සහනයක් සැලසෙනු ඇති බවත් පවසන ලදී. එමෙන්ම, තම පෞද්ගලික ආර්ථික කටයුතු මනා කළමණාකාරීත්වයකින් යුතුව සිදු කිරීම සහ ආදායමට සරිලන ලෙස වියදම පාලනය කරගැනීම ද අත්‍යවශ්‍ය බවත් නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
මෙම සංචාරයේදී නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ නාවික පාබල පුහුණු පාසලේ පුහුණු කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගී වෙමින් එම පාසලේ ස්ථාපිත වෙඩිතැබිමේ පුහුණු සමාකෘතියේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ සුභසාධන වෙළඳසැල සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ පුහුණුවන නාවිකයන්ගේ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කර එම පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමටද එහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.