IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂක සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
සිංගප්පූරුවේ චැංගී ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ 2023 මැයි මස 03 සිට 05 දක්වා පැවති IMDEX ASIA – 2023 සමුද්‍රීය හා ආරක්ෂක ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂක සම්මන්ත්‍රණය (International Maritime Security Conference – IMSC ) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
IMDEX ASIA ආසියානු කලාපයේ පැවැත්වෙන ප්රමුඛ පෙළේ නාවික හා සමුද්‍රීය සහ ආරක්ෂක ප්‍රදර්ශනයකි. මෙවර පැවැත්වූ එම ප්‍රදර්ශනයේ 13 වන වෙළුම සඳහා සහ ඒ යටතේ පැවැත්වූ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂක සම්මන්ත්‍රණය සඳහා ලොව විවිධ රාජ්‍යයන්, කළාප, නාවික හමුදා, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු සහ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතන නියෝජනය කරමින් විශාල දූත පිරිසක් සහභාගීව සිටියහ.
ඒ අනුව, ආසියා ශාන්තිකර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය අවබෝධය, සහයෝගීතාවය සහ හැකියාවන් වර්ධනය කරගැනීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර සිදුකෙරුණු උපායමාර්ගික වශයෙන් වැදගත් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
එහිදී, නාවික හමුදාධිපති විසින් ඇමෙරිකා එක්සත් ජනපද නාවික ලේඛම් කාර්යාලයේ, ජාත්‍යන්තර නාවික වැඩසටහන් කාර්යාලයේ අධ්යක්ෂ, රියර් අද්මිරාල් ඇන්තනී ඊ. ටෝනි රොසී (Rear Admiral Anthony E. Tony Rossi- The Director, Navy International Programmes Office, Office of the Secretary of the Navy), ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ ස්වෛරී දේශසීමා කාර්යසාධක බලකායේ ප්‍රධානී, රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones), ආසියානු කලාපයේ නෞකාවන්ට එරෙහි මුහුදු මංකොල්ල හා සංනද්ධ සොරකම් පිළිබඳ කලාපීය සහයෝගීතා තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ ක්‍රිෂ්ණස්වාමී නටරාජන් මහතා (Executive Director RECAAP - ISC), ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර නෞකා සමූහයේ ප්‍රධානී, අද්මිරාල් සැමුඑල් පැපරෝ (Admiral Samuel Paparo), සිංගප්පූරු ජනරජයේ නාවික හමුදා ප්‍රධානී, රියර් අද්මිරාල් සෝන් වැට් (Rear Admiral Sean Wat), නවසීලන්ත නාවික හමුදා ප්‍රධානී, රියර් අද්මිරාල් ඩේවිඩ් ප්‍රොක්ටර් (Rear Admiral David Proctor) හා රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් මාර්ක් හැමන්ඩ් (Vice Admiral Mark Hammond) යන නාවික හමුදා ප්‍රධානීන් හා ආසියානු හා ශාන්තිකර කලාපයේ සමුද්‍රීය ආරක්ෂක පාර්ශවකරුවන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදුකෙරිණි.
මෙම නිල හමුවීම් සහ ද්වීපාර්ශ්වික සාකච්ඡාවන් හිදී; සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන පොදු සමුද්‍රීය ආරක්ෂක අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා, සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණය මඟින් සෙවීම් හා මුදවාගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම හා සමුද්‍රීය වපසරිය පිළිබඳ දැනුවත් වීම උදෙසා සමුද්‍රීය පාර්ශ්වකරුවන් අතර අවශ්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීම, මෙහෙයුම් ධාරිතාවය හා හැකියාවන් වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුව ඇතුළු සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරුණු අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කරගැනීමද සිදුකෙරිණි.