හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කළාපයේ පෙරහැර නාවික හමුදා දායකත්වයෙන් උත්කර්ශවත් අයුරින් පවත්වයි
2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ 2023 මැයි මස 06 වන දින රාත්‍රි පෙරහැර, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ අනු නායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරිණි.
ඒ අනුව, ගංගාරාම විහාරස්ථානයේ සිට එම විහාරස්ථානයේ සීමාමාලකය වෙත විචිත්‍රවත් පෙරහැරක් මඟින් වැඩම කරවන ලද සධාතුක කරඬුව බෞද්ධාගමික වත් පිළිවෙත් වලට අනුකූලව සීමාමාලකයෙහි තැන්පත් කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් බැති සිතින් සිදුකෙරිණි. පෙරහැර අවසානයේ අනුශාසනාව සිදුකල අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ, මෙවර බුද්ධ රශ්මී වෙසක් කළාපය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.
තවද, 2023 මැයි මස 06 වන දින රාත්‍රියේ බුද්ධ රශ්මී වෙසක් කලාපය තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙන බොදු බැතිගී ගායනා, සැරසිලි සහ සංස්කෘතික සංදර්ශන නැරඹීම සඳහා නාවික හමුදාධිපති සමඟ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණිය, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරීන් සහ නාවිකයන් පිරිසක් බැති සිතින් සහභාගී වී සිටියහ.