ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නාවික හමුදාව සමරයි
2023 මැයි මස 05 වන දිනට යෙදුණු 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සංවිධානය කිරීමත්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය සහ රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා දායකත්වය ලබාදීමත් බැති සිතින් සිදුකෙරිණි.
ඒ අනුව, කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය තුළ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් නිර්මාණය කරන ලද විචිත්‍රවත් පහන් කූඩූ ප්‍රදර්ශනය කිරීම, ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට බේරේ වැවෙහි යාත්‍රා මත සිට භක්ති ගීත ගායනා ඉදිරිපත් කිරීම, විදුලි ආලෝක සැරසිලි සිදුකිරීම ආදිය සඳහා මෙන්ම හලාවත කැබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරිණි.
එමෙන්ම, 2567 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගාලු මුවදොර ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහාද නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරෙන අතර, එම වැඩසටහන් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 මැයි මස 05 වන දින සහභාගීවන ලදි.
තවද, සම්බුදු තෙමඟුල නිමිති කොට ගනිමින් 2023 මැයි මස 03 වන දින සිට 08 වන දින දක්වා පැවැත්වෙන බෞද්ධාගමික වැඩසටහන් සඳහා නාවික හමුදාව දායකත්වය ලබාදෙනු ලබයි.