සේවා වනිතා අලුත් අවුරුදු පොළ සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ 2023 අලුත් අවුරුදු පොළ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය ආරම්භ කිරීම 2023 අප්‍රේල් මස 10 වන දින උදෑසන වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.

ඒ අනුව, සේවා වනිතා අවුරුදු පොළ විවෘත කල නාවික හමුදාධිපති, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ අවුරුදු පොලෙහි වෙළද කුටි නිරීක්ෂණ සංචාරයක් සිදු කෙරිණි. අනතුරුව, බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය ආරම්භ කිරීම නාවික හමුදාධිපති ගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා‍ ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

2023 අප්‍රේල් මස 10 වන දිනය පුරා වැලිසර නාවික පරිශ්‍රයේ පැවති බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික සංස්කෘතිකාංග රැසකින් සමන්විත ජන ක්‍රීඩා අංගයන්ගෙන් සමන්විත වූ අතර, අවුරුදු උත්සවයෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති සංගීත ප්‍රසංගය අතරතුර අවුරුදු උත්සවයේ ජයග්‍රාහක/ ජයග්‍රාහකයන් වෙත තිළිණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, අවුරුදු උත්සවයේ මැරතන් ධාවන තරඟයෙහි පිරිමි අංශයේ ශූරතාවය නායක ශාරිරික අභ්‍යාසක කේආර්ඒ තිලකරත්න විසින්ද, එහි කාන්තා අංශයේ ශූරතාවය සාමාන්‍ය කාන්තා නැවි ඩබ්ඒඑල්ටීආර් වැලිවිට විසින්ද හිමිකර ගත් අතර, පාපැදි තරඟයෙහි පිරිමි අංශයේ ශූරතාවය සුළු නිලධාරි එස්බීආර්එන් හේමකීර්ති විසින්ද, එහි කාන්තා අංශයේ ශූරතාවය බල කාන්තා ශාරීරික අභ්‍යාසක ජීඩීඩී සකුන්තලා විසින්ද දිනා ගන්නා ලදී. 2023 බටහිර නාවික විධාන අවුරුදු කුමරා ලෙස ලිපිකරු ඩබ්ආර් කාවින්ද තේරී පත්වූ අතර, අවුරුදු කුමරිය ලෙස බල කාන්තා නැවි පීඩීටී ප්‍රබෝදනී තේරී පත්විය.

මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.