ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සඳහා සහභාගී වීමට ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Kiltan’ සහ ‘INS Savitri’ යන යුද නෞකාවන් කොළඹ වරායට සේන්දු වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් අද දින (2023 අප්‍රේල් 03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයේ INS Kiltan නැමැති යුද නෞකාවේ අණදෙන නිලධාරී Commander Arjit Pande හා Offshore Patrol Vessel වර්ගයේ INS Savitri නැමැති යුද නෞකාවේ අණදෙන නිලධාරී Commander Vikas Phogat සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 අප්‍රේල් 03) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවති අතර, එහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.
වාර්ෂිකව පැවැත්වෙන SLINEX -23 ද්වීපාර්ශ්වීය නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන්ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානාවක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් එක්වන අතර, ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් INS Kiltan හා INS Savitri යන යුද නෞකාවන් සමඟ ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානාවක් සහ කීටැක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් එක්වේ. මෙම අභ්‍යාසයේ සමාරම්භක දේශණය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ දෙපාර්ශවයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින (2023 අප්‍රේල් 03) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී පැවැත්විණි.
ඒ අනුව, මෙම අභ්‍යාසයේ වරාය අධියර 2023 අප්‍රේල් මස 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදීත් එහි මුහුදු අධියර අප්‍රේල් මස 06 වන දින සිට 08 වන දින දක්වා බටහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහි මුහුදු අධියරේදී වෙඩි තැබීමේ අභ්‍යාස (GUNEX), සෙවීම් හා මුදවා ගැනීම් අභ්‍යාස (SAREX), Screen Exercise (SCREENEX), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සූදානම් වීම (Replenishment at Sea – RAS Approaches), මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම (Abeam Fuelling Approaches), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure - VBSS), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම (PHOTOEX), ගුවනින් නෞකා වෙත සැපයුම් ලබාදීම (VERTREP) සහ ගුවන් යානා යොදා ගනිමින් සෙවීම් සහ මුදවා ගැනීම් අභ්‍යාස මෙන්ම නෞකා හා යාත්‍රා ගුවනින් සෝදිසි කිරීමේ අභ්‍යාස සිදුකිරීමට ද නියමිතව ඇත.
එමෙන්ම, මෙම අභ්‍යාසයට සමගාමීව දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සුහද ක්‍රීඩා තරඟ, යෝගා අභ්‍යාස සඳහා දෙරටේ නැව් මුළුවන් සහභාගී වීමට නියමිතව ඇති අතර, ඉන්දීය නෞකාවන්ට අයත් නැව් මුළුවන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, SLINEX – 23 අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, INS Kiltan, INS Savitri, ශ්‍රීලංනානෞ සමුදුර සහ ශ්‍රීලංනානෞ විජයබාහු යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු මෙහෙයුම් කාර්යය මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.