75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින ‍(2023 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 75 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධනී ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාධිපති වරුන් සහ පොලිස්පති විසින් නිදහස් උත්සව පරිශ්‍රය වෙත පැමිණි ගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීම සඳහා කොඩි කණුව සහිත පීඨිකාව ‍වෙත කැටුව යාමෙන් පසු, ගරු ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීමත් සමග ජාතික දින සැමරුම් උළෙල ආරම්භ විය. ජාතික ධජය එසවීමේ අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සහ ඒ හා සම්බන්ධ කටයුතු සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශය විසින් සිදුකරන ලදි. එහිදී ජාතික ගීය ගායනයේදී සහ 75 වැනි නිදහස් දිනයට ආශිර්වාද පතා ජයමංගල ගාථා ගායනයේදී සංගීතය සැපයීම නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් සිදු කරන ලදි.

75 වැනි නිදහස් සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා නාවික හමුදා නිලධාරීන් 56ක් සහ නාවිකයින් 886 දෙනෙකුගෙන් යුත් අංශ අටක් (08) සහ නාවික හමුදාවේ ප්‍රධාන අවි සහ තාක්‍ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළ සඳහා නිලධාරීන් 02 ක් සහ නාවිකයන් 57 ක් සහභාගි විය. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ නාවික පුද්ගල කොමදෝරු රාජප්‍රිය සේරසිංහ සමස්ථ ආචාර පෙළපාලියේ පෙර ගමන් රථයේ ගමන් කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බල ඇණිය අභිමානවත්ව නියෝජනය කරමින් සයුරළ, ගජබාහු සහ විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් විශේෂයෙන් සරසා ගාලු මුවදොර ඉදිරිපස මුහුදේ නැංගුරම්ලා, මෙවර නිදහස් දිනයට එක් වූ අතර, කොළඹ වරායට පසුගිය දා නිල සංචාර සඳහා සේන්දූ වූ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාව සහ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යන යුද නෞකාවන්ද ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනයට උපහාර පිණිස විශේෂයෙන් සැරසීමට කටයුතු කර තිබුණි.

75 වැනි නිදහස් දින ආචාර පෙළපාලියේ නාවික හමුදා ධජය ලුතිනන් කමාණ්ඩර් සහන් හිමාර විසින් රැගෙන යන ලද අතර, නාවික හමුදා සමූහ තූර්ය වාදක කණ්ඩායමේ රණ හඩ මධ්‍යයේ, නාවික හමුදාව, නාවික හමුදා බලඝන, විධාන සහ ආයතනයන් වෙත පිරිනමන ලද ජනාධිපති වර්ණ ධජ සහ, නාවික විධානයන්ට අයත් විධාන ධජ රැගත් නිලධාරීන් සමගින් ගමන් ගත් ආචාර පෙළපාලිය සඳහා කමාණ්ඩර් සුදේශ් විදානගේ විසින් අණදීම සිදු කරන ලදි.

නාවික හමුදා ආචාර පෙළපාලියේ ප්‍රථම බලඝනය ලෙස ගමන්ගත් නාවික හමුදා මූලස්ථාන බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් අමිල සිරිවර්ධන විසින් අණදීම සිදුකල අතර, සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කර ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවූ, ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික හමුදා දියත් විධානයේ බලඝණය සඳහා ලුතිනන් කමාණ්ඩර් සුනෙත් සමරකෝන් විසින් අණදීම සිදු කෙරිණි.

‘පහරදීම පළමුව - පහරදීම ප්‍රබලව’ යන තේමා පාඨය රැගත්, 30 වසරක මෙරට සංග්‍රාමික ඉතිහාසයේ ත්‍රස්තවාදී මරාගෙන මැරෙන යාත්‍රා අභියෝගය අතික්‍රමණය කළ, 1988 වර්ෂයේ ස්ථාපිත, ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද, ශ්‍රී ලංකා නාවික හමුදා 04 වන වේග ප්‍රහාරක බලඝණය සඳහා ලුතිනන් කමාණ්ඩර් මෝදිත අබේකෝන් ගේ අණදීම යටතේ පෙළපාලියේ ගමන් කරන ලදී.

තවද, ‘විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ’ යන තේමාව රැගත්, මහ සයුර ගොඩබිම හා ගුවනේ ද විශේෂ සටන් ක්‍රම පිළිබඳ සුවිශේෂී පුහුණුවක් ලත්, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් දෙවරක් අණදී ඇති, 1993 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කමාණ්ඩර් කාලිංග ලියනාරච්චි විසින් සිදු කරන ලදි.

එමෙන්ම ‘අනන්තයට එහා දිවෙන විජයග්‍රහණයක් කරා’ යන තේමා පාඨය රැගත් නොගැඹුරු මුහුදු කලාපයේ ආරක්‍ෂාව සඳහා මෙන්ම ස්වභාවික ආපදාවන්හීදී මහජනතාවට සහන සැලසීම සඳහා කැපවූ 2007 වර්ෂයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කමාණ්ඩර් ජයම්පති බුද්ධදාස, විසින් සිදුකල අතර, “ශක්තියෙන් නිර්භිතව ජයග්‍රහණය කරා” යන තේමාව රැගත්, මහ සයුරෙන් සතුරු භූමියට භට පිරිස් ඇතුල් කිරීමේ විශේෂ හැකියාවක් ඇති 2016 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා මැරින් බලකාය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කොමාණ්ඩර් මලිත් විතානාරච්චි විසින් සිදු කෙරිණි. තවද, ශ්‍රීලංකා නාවික හමුදාවේ සියලුම අංශයන් නියෝජනය කරනු ලබන කාන්තා නාවික අංශය සඳහා ලුතිනන් කමාණ්ඩර් ප්‍රදීපා රත්නායක විසින් ආචාර පෙළපාලියේ අණදීම සිදු කෙරිණි.

සමුද්‍රීය සහ ධීවර ක්ෂේත්‍රයේ නීතිය හා සාමය පසිඳලමින් සමුද්‍රීය පරිසරය සුරැකීම වෙනුවෙන් 2010 වර්ෂයේ ස්ථාපිත කළ, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිදහස් දින ආචාර පෙළපාලියට එක් වූ අතර, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු බලඝණයට ලුතිනන් කමාණ්ඩර් උදාර මල්ලවආරච්චි විසින් අණදීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රධාන අවි සහ තාක්ෂණික උපාංග ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළපාලිය භාර නිලධාරී ලෙස කොමාණ්ඩර් ලක්‍ෂමන් දයාරත්න පෙරගමන් රථයේ ගමන් කල අතර, රථ පෙළපාලිය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන අවි සහ නාවික හමුදාව විසින් නිශ්පාදනය කරනු ලබන වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවක්, සෙඩ්රික් යාත්‍රාවක් සහ විශේෂ යාත්‍රා බලඝණය සහ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ මෙහෙයුම් සඳහා යෙදා ගන්නා රිබ් යාත්‍රාවක් ප්‍රදර්ශනය කෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ කිමිදුම් උපාංග ප්‍රදර්ශනය කෙරෙන රථයක් මෙම රථ පෙළපාලියේ ප්‍රදර්ශනය කෙරිණි.

තවද, නිදහස් උත්සවය වර්ණවත් කරමින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් ගේ සහභාගීත්වයෙන් පැරෂුට් සංදර්ශනයක් පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් පැරෂුට් පැනීම් 107 කට හිමිකම් කියන කමාණ්ඩර් කමල් තිස්ස කුමාර, පැරෂුට් පැනීම් 111 කට හිමිකම් කියන පාලක ප්‍රධාන සුළු නිලධාරී එල්ඒඒපී කුමාරසිංහ, පැරෂුට් පැනීම් 169 කට හිමිකම් කියන ප්‍රධාන සුළු නිලධාරී ජීසීඑම්කේ ගීකියනගේ, පැරෂුට් පැනීම් 140 කට හිමිකම් කියන ප්‍රධාන සුළු නිලධාරී ඩබ්ඒ සිරිවර්ධන සහ පැරෂුට් පැනීම් 87 කට හිමිකම් කියන සුළු නිලධාරී එම්ජීඑස්ඒ රන්දීර් සහභාගී විය. එහිදී නාවික හමුදා ධජය සහිත පැරෂුටය මඟින් කොමාණ්ඩර් කමල් තිස්ස කුමාර නාවික හමුදා ධජය රැගෙන ගාලු මුවදොර පිටියට ළගා විය.

මෙම නිදහස් සැමරුම් උළෙල සඳහා අති පූජනීය ගරුතර මහාසංඝරත්නය ප්‍රමුඛ සෙසු පූජා ප්‍රසාදීන් වහන්සේලා, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ රජයේ මැති ඇමතීන්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය, ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියහ.