නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2022 ජනවාරි මස 08 සහ 09 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි.

ඒ අනුව, 2022 ජනවාරි මස 08 වන දින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීම වෙත පිවිසි නාවික හමුදාධිපති, එහි මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් අධීක්‍ෂණය කරන ලදී. තවද, වෙත්තලකේනි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කල නාවික හමුදාධිපති, මෙම සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැල රෝපණ කිරීමකටද සහභාගී විය.

මෙම නිල සංචාරයේදී, 2022 ජනවාරි මස 09 වන දින ‍ඓතිහාසික නාගදීප රජ මහාවිහාරය වැඳ පුදාගත් නාවික හමුදාධිපති, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, උතුරු නාවික විධානයේ මෙහෙයුම් කටයුතු පුලුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ නවීණ පහසුකම් සහිත බහුකාර්යය මෙහෙයුම් මැදිරියක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි.

තවද, උතුරු නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපති, විවිධ අභියෝග හමුවේ වුවද විධානයේ මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස සිදුකිරීම සඳහා දායක වූ නිලධාරීන් සහ නාවිකයන් වෙත සිය ප්‍රසාදය පලකරන ලදී. කුමන අභියෝගයක් හමුවේ වුවද නාවික බලඇණිය උපරිම මෙහෙයුම් කාර්යක්‍ෂමතාවයෙන් යුතුව පවත්වාගැනීම නාවික හමුදාවේ අපේක්‍ෂාව බව පැවසූ නාවික හමුදාධිපති, ඒ සඳහා සියලුම නාවික පුද්ගලයන් උපරිම විනය හා මනා පැවැත්මෙන් යුතුව රාජකාරී ජීවිතය හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගනිමින් නිරවුල් මනසකින් යුතුව තම රාජකාරිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් සිදුකිරීමට කැපවිය යුතු බවත් පවසන ලදී. තවද, නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ නාවිකයන් අංශ ක්‍රමය නිසිලෙස පවත්වාගනිමින් කණිෂ්ඨ නාවිකයන්ගේ ගැටළු පිලිබඳ නිරන්තර අවධානය යොමු කළ යුතු බව පැවසූ නාවික හමුදාධිපති, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නාවිකයන් වෙත විශාල වගකීමක් ඇති බවට අවධාරණය කෙරිණි. තවද, නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය සිදුකිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය නිසිලෙස පවත්වාගැනීමට කටයුතු කලයුතු බවටද මෙහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

තවද, උතුරු නාවික විධානයේ කොමදෝරු සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් පහසුවෙන් හා කාර්යක්‍ෂමව සිදුකිරීමේ අරමුණින් අභිනවයෙන් ඉඳිකරන ලද දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී විවෘත කළ නාවික හමුදාධිපති, එම සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට දායක වූ නාවික පුද්ගලයන් වෙත එහිදී ප්‍රසංශාව ඵලකරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද නාවික හමුදාධිපතිගේ උතුරු නාවික විධානයේ නිල සංචාරය සඳහා, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා, නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් සුජිව සෙනවිරත්න, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා, නාවික අණභාර නිලධාරි (දුපත්) කොමදෝරු හෙන්ස්ලි පිරීස් ඇතුළු උතුරු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගිවී සිටියහ.