කොවිඩ් -19 වංසගත තත්වය මත කොළඹ, නාවික මහ රෝහල මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන රෝහලක් බවට පරිවර්ථනය කිරීම හේතුවෙන් එම රෝහල වෙතින් මාසික සායන වලින් ප්‍රතිකාර ගන්නා ලද විශ්‍රාමික නාවික පුද්ගලයින්, නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් සහ නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් පත්වන අපහසුතාවය සැළකිල්ලට ගෙන එම මාසික ඖෂධ ආසන්නතම රජයේ රෝහල මගින් ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් සකස් කරන ලදි.
ඒ අනුව නාවික මහ රෝහල වෙතින් ප්‍රථිකාර ලබා ගන්නා ලද උක්ත පුද්ගලයින් හට ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශයට ආසන්නතම රජයේ රෝහල් වෙත තම පවුල් ප්‍රතිකාර පොත, විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඔවුන් හට අවසන් වරට නිර්දේශ කරන ලද ඖෂධ පත්‍රිකාව, අවසන් වරට නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරුව රජයේ රෝහල් වල බාහිර ප්‍රතිකාර අංශ වෙත ඉදිරිපත් කර අවශ්‍ය මාසික ඖෂධ ලබා ගැනීමට අනුමැතිය ලබාදී ඇත.
එමෙන්ම ඉහත මාසික සායන මගින් නිර්දේශිත ඖෂධ රජයේ රෝහල් තුල පවතින ඖෂධ ගබඩා තොගයන්ගෙන් පමණක් නිකුත් කරන බවද දැන්වේ.