‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' ශූරතාවය දකුණු කලාපයට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 09 වන දින වැලිසර නාවික සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති ‘නාවික හමුදාධිපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය - 2023' (Commander of the Navy’s Cup), සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියක් ලෙස පැවති අතර, එහි ශූරතාවය දකුණු කලාපය විසින් දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ අනුශුරතාවය උතුරු කලාපයට හිමිවිය.

ඒ අනුව, උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර වශයෙන් කලාප හතරක් (04) යටතේ පැවති මෙම ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා දකුණු සහ උතුරු කලාප සුදුසුකම් ලබා ගත් අතර, දකුණු කලාප කණ්ඩායමේ නායකයා වශයෙන් කපිතාන් පීඑස් පරණවිතාන සහ උතුරු කලාප කණ්ඩායම් නායක වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඒඩී විරසුරිය විසින් කටයුතු කරන ලදි.

දකුණු කලාපය පළමුවෙන්ම පන්දුවට පහර දෙමින් පන්දුවාර 22 කදි සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 89ක් ලබා ගන්නා ලදි. අනතුරුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උතුරු කලාප ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 34.2 කදි සියළු ක්‍රීඩකයින් දැවී හිමි කරගැනීමට හැකිවූයේ ලකුණු 74ක් පමණි. ඒ අනුව, ‘Commander of the Navy’s Cup’ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දකුණු කලාපය විසින් හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස නැගෙනහිර කලාපයේ නායක ගබඩා සහකාර කේබිඑල්ඒආර් පෙරේරා විසින්ද, තරඟාවලියේ දක්ෂතම පිතිකරු ලෙස බටහිර කලාපයේ නායක නැව් අයිඑන්ඩබ් ගුණවර්ධන විසින්ද, තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස උතුරු කලාපයේ බලනැව් එච්පිටිආර් විජේසිංහ විසින්ද හිමි කර ගත් අතර, අවසන් මහා තරඟයේ ‘තරඟයේ විරයාට’ හිමි සම්මානය දකුණු කලාපයේ ප්‍රධාන සුළු නිලධාරි එන්ඒඑච් ද සිල්වා විසින් හිමි කර ගත් අතර, තරඟාවලියේ වීරයාට හිමි සම්මානය බලනැව් එච්පිටිආර් විජේසිංහ විසින්ද හිමි කරගන්නා ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික පාබල රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.