දියත් විධානයේ සංවිධායකත්වයෙන් නෞකා අණදෙන නිලධාරීන්ගේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සංසදයක්

නාවික හමුදා දියත් විධානයේ සංකල්පයක් මත හා සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියේ විවිධ නෞකාවන්ට අණදුන් හිටපු අණදෙන නිලධාරීන්ගේ අත්දැකීම් වත්මන් අණදෙන නිලධාරීන් සහ ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත නිලධාරීන් අතර හුවමාරු කර ගැනීමේ සංසදයක් (Experience Sharing Forum - 23) 2023 ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සංවිධානය කරන ලද මෙම අණදෙන නිලධාරීන්ගේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සංසදය වෙත මුහුදේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් (Maritime Interdiction Operations) හා සම්බන්ධ විශේෂ සිදුවීම් නාවික දියත් විධානය මඟින් සංසදයේ සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අතර, එම සිදුවීම් සම්බන්ධ අත්දැකීම් සාකච්ඡා කිරීම කොමදෝරු අනිල් බෝවත්ත, කොමදෝරු ජයන්ත බණ්ඩාර, කොමදෝරු බුද්ධික ලියන‍ගමගේ සහ කපිතාන් බුද්ධික ජයවීර යන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම, මෙම සංසදයේදී නිලධාරීන් විසින් මතුකල ගැටළු වෙනුවෙන් විශේෂඥ අදහස් දැක්වීම අධ්‍යක්‍ෂ නාවික බුද්ධි, සහකාර විනයාරක්ෂාධිපති (උතුර) සහ මාණ්ඩලික නිලධාරි නීති සේවා (බටහිර) ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක් විසින් සිදු කෙරුණු අතර, නාවික හමුදා විනිශ්චයකාර අධිනීතිඥ නිලධාරි සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙක් විසින්ද මෙහිදී දේශන පැවැත්වීම සිදු කෙරිණි.

මෙම සංසදය හමුවේ අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, මෙවැනි සංසද මඟින් තරුණ නිලධාරීන් හට අතීතයේ අභි‍යෝගාත්මක අවස්ථාවන් හට එවකට අණදෙන නිලධාරීන් ලෙස රාජකාරී සිදු කල නිලධාරීන් මුහුණ දුන් ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම, ඔවුන්ගේ මෙහෙයුම් අත්දැකීම් බෙදාගැනීම සඳහා ඉතා අගනා ‍ අවස්ථාවක් නිර්මාණය වන බවත්, ප්‍රවීණයන් සතු එම මෙහෙයුම් අත්දැකීම් බෙදා ගැනීම තරුණ නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරි කටයුතුවලදී විශාල ප්‍රතිලාභයක් හිමි කර දීමට හේතුවනු ඇති බවත් පවසන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ත්‍රස්තවාදයෙන් තොර නිදහස් තිරසාර සාමයක් මව්බිමට උදා කර දීම වෙනුවෙන් මෙරට ආරක්ෂක හමුදා කැපවීමෙන් යුතුව සිදුකල සුවිශාල කාර්යභාරය සිහිපත් කරමින්, පවත්නා දුෂ්කර කාල පරිච්ජේදය හමුවේ වුවද, සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගැඹුරු මුහුදේ අඛණ්ඩව ආවේක්ෂණ කටයුතු සිදු කිරීම හේතුවෙන් සාගර කලාපය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නිතී විරෝධි කටයුතු මැඩ පැවැත්විම සඳහා සාර්ථක මෙහෙයුම් සිදු කිරීම‍ට නාවික හමුදාවට හැකි වූ බව අවධාරණය කරන ලදි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන කාර්යභාරය ජාත්‍යන්තරයේ පැසසුමට ලක් වී ඇති බව, පසුගිය දා සිදුකල විදෙස් නිල සංචාරයන්හිදී තහවුරු වූ බව පැවසූ නාවික හමුදාධිපති, නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිදුකල අභියෝගාත්මක හා වික්‍රමාන්විත සුවිශේෂි කිමිදුම් මෙහෙයුම, ජාත්‍යන්තරය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විශාල ප්‍රශංසාවක් ගෙන දීමට සමත් වූ බවත් එහිදී වැඩිදුරටත් පවසන ලදි.

තවද, මෙම සංසදයේ සංවිධාන කටයුතු මෙහෙයවීම කොමදෝරු මුහුදු පුහුණු, කොමදෝරු නිමල් රණසිංහ විසින් සිදු කල අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ සහ නාවික හමුදා දියත් විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.