ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත චීන රජයේ උපහාරය පිරිනමයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් වෙත චීන රජයේ උපහාරය පිරිනමා කිමිදුම් කණ්ඩායම ඇගයීමේ උත්සවයක්, ශ්‍රී ලංකාවේ චීන තනාපති ගරු කී ෂෙන්හොං මහතා ගේ (Qi Zhenhong) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 06 වන දින කොළඹදී පැවැත්විණි.
මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවිකයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත ශ්‍රී ලංකාවේ ඇති බැඳීමට අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයේ මෙන්ම, ඊට යාබද සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයන්හිදීද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම, ආපදාවට පත් ධීවර යාත්‍රාවේ ඇතුලත තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සිදු කරන ලදි. එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය මධ්‍යයේ දින තුනක් (03) පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළ සිරුරු දෙකක් (02) සොයා ගැනීමටත්, අනෙකුත් මැදිරි තුළ නරක් වූ මළසිරුරු දොළහක් (12) හඳුනා ගැනීමටත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් විය. එම අසීරු කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත් චීන ධිවර යාත්‍රාව සම්පූර්ණයෙන් ගැඹුරු මුහුදේ ගීලී ගොස් ඇති අතර, එවැනි ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවධානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්විය.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව එම කිමිදුම් මෙහෙයුමෙන් අනතුරුව, නැවත කොළඹ වරායට පැමිණෙන අතරවාරයේ ගාල්ලේ සිට නාවික සැතපුම් 460 ක් පමණ (කිලෝ මීටර් 851 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ ‘Krevin Baba 01’ (ලියාපදිංචි අංක IMUL-A-0921 CHW) නැමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු විජයබාහු නෞකාව මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් 2023 මැයි මස 26 වන දින ප්‍රතිකාර සඳහා යොමු කිරිමටද නාවික හමුදාව කටයුතු කෙරිණි.
ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ නාවික පුද්ගලයන් සහ කිමිදුම් කණ්ඩායමේ නාවික පුද්ගලයන් නව දෙනා (09) ඇගයීම වෙනුවෙන් 2023 ජුනි මස 06 වන දින කොළඹදී පැවති මෙම උත්සවයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති, නාවික හමුදාව සිදුකල මෙම විශේෂ කිමිදුම් මෙහෙයුම දෙරටේ මිත්‍රශිලී සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරනු ලබන සුවිශේෂි මෙහෙයුමක් බව පවසන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු පෝල් ස්ටීවන්ස් මහතා (His Excellency Paul Stephens ) ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රජයේ මැති ඇමතීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ අණදෙන නිලධාරි සහ එම නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.