74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් උතුරු මැද විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්
නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 17 වැනි දින උතුරු මැද විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් සඳහා මුල්තැන දෙමින් 2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සැමරීමට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ වව්නියාව මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයන්හි කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන උතුරු මැද නාවික විධානය විසින් සංවිධානය කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ අධීක්ෂණයෙන් සංවිධානය කළ මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන, විධාන වෛද්‍ය නිලධාරී (උතුරු මැද) වෛද්‍ය කොමාණ්ඩර් චන්දන අත්තනායක ගේ අධීක්ෂණයෙන් මෙලෙස උතුරු මැද විධාන නාවික රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද නාවික විධානයට අයත් ආයතනයන්ට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් තුන්සිය විසි හතර දෙනෙකු (324) විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදු කෙරිණි.