74 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්
2024 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 නොවැම්බර් මස 29 වන දින කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.
1991 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය, ඉහළම නාවික චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුකූලව අඛණ්ඩව වසර 33ක් පුරා ඒකාබද්ධ සැමරුම් හා ස්තුති කිරීමේ දේව මෙහෙය පවත්වා ඇත. මෙම ඒකාබද්ධ සැමරුම් දේව මෙහෙය, අතිඋතුම් ආචාර්ය ලයනල් එම්මැනුවෙල් ප්‍රනාන්දු රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් සහ රෝමානු කතෝලික දෙවස්ථානයේ, ලංකා සභාව, මෙතෝදිස්ත සභාව සහ බැප්ටිස්ට් සභාවේ පූජක වරුන්ගේ කාරුණික සහභාගීත්වයෙන් යුතුව ඉතාම අභිමානවත් අන්දමින් ක්‍රිස්තියානි ආගමික වත්පිළිවෙත් වලට අනුකූලව පැවැත්විණි.
"මුහුදේ ආරක්ෂකයා වන ඔබ සමඟ අපගේ ස්වාමීන් වහන්සේගේ සාමය සහ ශක්තිය වේවා" යනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගත් සියලු ජයග්‍රහණ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙත ප්‍රශංසා කරමින් තුති පුද කළ අතිඋතුම් ආචාර්ය එම්මැනුවෙල් ප්‍රනාන්දු රාජගුරු ප්‍රසාදීන් වහන්සේ, මාතෘභූමිය වෙත සාමය උදාකරදීම වෙනුවෙන් උතුම් කැපකිරීම් කළ සියළුම දෙනා ගෞරවපූර්වකව සිහිපත් කරමින්, නාවික හමුදා ධජය සහ නාවික හමුදා විධාන ධජයන් වෙත ක්‍රිස්තියානි ආගමික වත් පිළිවෙත් අනුකූලව ආශිර්වාද ප්‍රාර්ථනා සිදුකෙරිණි. එමෙන්ම, 74 වසරක නාවික හමුදා ඉතිහාසය තුළ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ රණක්ෂිතයට පත්වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතත්, සමස්ථ නාවික හමුදාව වෙතත්, ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.
තවද, මෙම දේව මෙහෙය සඳහා හිටපු නාවික හමුදාධිපතිවරුන් හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු විධාන ආඥාපති වරුන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ උප සභාපති වරුන් වන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජීනේරු රියර් අද්මිරාල් ප්‍රෂාන්ත ඇන්තනී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.