නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සමන් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට ආසන්න සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සමන් පෙරේරා අද දින (2024 ජුලි 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සමන් පෙරේරා වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් සමන් පෙරේරා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1989 වසරේදී 19 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සමන් පෙරේරා, සිය වසර 35 කට ආසන්න සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු සාමාන්‍යාධිකාරී මාලිමා සත්කාරක සේවාව, වැඩ බලන නාවික අණභාර නිලධාරී (වැලිසර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී (කන්කසන්තුරය), ධජ නිලධාරී නාවික දියත් විධානය, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, ආඥාපති දකුණු නාවික පෙදෙස, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති සහ ආඥාපති බටහිර නාවික පෙදෙස යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.