ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 373ක් නාවික හමුදා සේවයට එක්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 263 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයන් දෙසීය තිහක් (230) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය හතලිස් තුනක් (143) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැත්තෑ තුන් දෙනෙකු (373) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, අද (2026 අප්‍රේල් 27) ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, රියර් අද්මිරාල් ජනක මාරඹගේ සහභාගී විය.
අභියෝගාත්මක වෘත්තියක් තුළින් මව්බිම වෙනුවෙන් සේවය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී 263 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ ශ්‍රී ලංනානෞ නිපුණ ආයතනය වෙතින් සාර්ථකව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව අවසන් කල ආධුනික නාවිකයින් අතරින් විශේෂ කුසලතා දැක්වු ආධුනික නාවිකයින් හට කුසලාන ප්‍රධානය, විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරධිත අමුත්තා විසින් සිදුකරන ලදි. ඒ අනුව, විසිර යන ලද ආධුනික නාවිකයින් තුන්සිය හැත්තෑ තුන් දෙනෙකු (373) අතරින් විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්එම්එම්එන් වීරසේකර විසින් හිමිකර ගන්නා ලදි. එමෙන්ම, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එස්එච් දිවානි විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එම්එම්බීඑන් මාපා විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඒඑම්එන්ඒ අධිකාරි විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ඒඑම්ඒආර් බංඩාර විසින් සහ දක්‍ෂතම ඉලක්කකාරියට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එන්එල්ඩීඩීඑස් ලියනගේ විසින් හිමි කර ගන්නා ලද අතර, 263 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘අනුලා’ අංශය විසින් හිමි කර ගන්නා ලදී.
මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ රියර් අද්මිරාල් ජනක මාරඹගේ, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සුවිශේෂි වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරෙන බවත්, තාක්‍ෂණයෙන් පිරිපුන් වෘත්තීමය හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් මව් බිම වෙත උදාකර දුන් නිදහස, අනාගත පරපුර වෙත දායාද කරදීමේ වගකීම විසිර යන ආධුනික නාවිකයන් වෙත පැවරෙන බවත් පවසන ලදි.
තවද, ලොව දිනෙන් දින සීඝ්‍රයෙන් වර්ධනය වන නව තාක්‍ෂණය සමඟ යාවත්කාලීන වෙමින් ලබා ගන්නා වූ නව දැනුම හා කුසලතා නාවික හමුදාවේ උන්නතිය උදෙසා ඵලදායි අයුරින් භාවිතා කිරීමට විසිර යන ආධුනික නාවිකයන් වගබලා ගත යුතු බවත්, නාවික ජිවිතයේ සහ පෞද්ගලික ජිවිතයේ අභියෝග සාර්ථකව කළමණාකරනය කර ගනිමින්, මාතෘ භූමියේ ස්වෛරිභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අභිමානයක් ගෙන දෙන අන්දමින් කටයුතු කිරීම, විසිර යන ආධුනික නාවිකයන් වෙතින් නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත් අවධාරනය කරන ලදි.
එමෙන්ම, ජවසම්පන්න විනයගරුක දූ පුතුන් මව්බිම සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට දායාද කල විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමව්පියන් වෙත සහ ඔවුන් පුහුණු කිරීම සඳහා දායක වු පුහුණු උපදේශක කාර්‍යමණ්ඩලය වෙත කෘතඥතාවය ඵලකිරීමද එහිදී රියර් අද්මිරාල් ජනක මාරඹේ විසින් සිදුකෙරිණි.
විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශනයකින් වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙරළාරක්‍ෂක රියර් අදමිරාල් රොහාන් ජෝසප්, නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් හා විසිර යන ලද ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.







































