යාත්‍රා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ විශේෂිත උපකරණ පරිහරණය කිරීම පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ කාර්යාලය මඟින් (United Nations Office on Drugs and Crime - UNODC). ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ විශේෂිත උපකරණ පරිහරණය පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රධානය, 2026 මාර්තු මස 06 වැනි දින විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදුකෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන යටතේ (Global Maritime Crime Programme - GMCP) සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවන් 2016 වර්ෂයේ සිට ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව, සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සඳහා, සමුද්‍රීය ආරක්‍ෂාව වර්ධනය කිරීමට හා කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරමින්, මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස්දෙනෙකු (05) සහ නාවිකයින් එකොලොස් දෙනෙකු (11) වෙත මෙලෙස සහතික ප්‍රදානය කෙරිණි.