78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

78 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් උතුරු පළාතේ වෙරළ හා පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් මාලාවක් සඳහා නාවික හමුදාවේ ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, 2026 පෙබරවාරි මස 04 වැනි දින සිදුකෙරිණි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රමුඛ පාර්ශවකරුවෙකු වශයෙන්, ඒ යටතේ ක්‍රියාත්මක පරිසර හිතකාමි ව්‍යපෘති සඳහා නාවික හමුදාව නිරන්තර ප්‍රජාසත්කාරක දායකත්වය දක්වනු ලබයි.

ඒ අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ මෙම උතුරු පළාත තුල වෙරළ හා පොදු ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය මඟින් කීරිමලෙයි බස් නැවතුම්පොළ හා පොන්නාලේ පොකුණ අවට ප්‍රදේශය, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් කසුරිනා වෙරළ තීරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා මෙලෙස ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.