නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පො/ කවුඩුලුවැව මහින්ද මහා විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 දෙසැම්බර් මස 15 වැනි දින සිදුකෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, පෙරේරා සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1141 ක් ජනතා අයිතියට පත්කර ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පො/ කවුඩුලුවැව මහින්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ හා එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.