75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2025 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ, හින්දු ආගමික වැඩසටහන 2025 නොවැම්බර් මස 23 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත. එම ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදීත්, ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීත් සහ ඉස්ලාම් දේව මෙහෙය කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදීත් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් අචල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාවට අශිර්වාද පතා 2025 නොවැම්බර් මස 23 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී එම දේවස්ථානයේ මුරලි කුරුක්කල් පූජකතුමාගේ මෙහෙයවීමෙන් පැවති මෙම හින්දු ආගමික වැඩසටහන මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්වෙතත්, සමස්ත නාවික හමුදාවවෙතත් 75 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.