සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණි ඉන්දිය නාවික හමුදාවේ ගොඩ බෑමේ යාත්‍රා දිවයිනෙන් පිටත් වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 නොවැම්බර් මස 22 වැනි දින ඉන්දිය නාවික හමුදාවේ ගොඩ බෑමේ යාත්‍රා තුනක් දිවයිනට පැමිණි අතර, එම සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව නොවැම්බර් 25 වන දින එම යාත්‍රා දිවයිනෙන් පිටත් විය. ශ්‍රිලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම යාත්‍රා පිළිගැනීම හා සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි Landing Craft Utility-LCU යාත්‍රාවන්ගේ අණදෙන නිලධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර, නිල හමුවීම් එම විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර, යාත්‍රා දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එම කාර්යය මණ්ඩල, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ක්‍රීඩා වැඩසටහන් සඳහාද සහභාගී විය.

තවද, නෞකා කාර්යය මණ්ඩල දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වු අතර, එම යාත්‍රාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හටද අවස්ථාව උදා විය.