හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විතයේදී මව්බිම වෙනුවෙන් දිවිපිදු වීරෝදාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර

ශ්‍රි ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වෙනි සංවත්සරයට සමඟාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී, ජීවිත පිරිත්‍යාගයෙන් කටයුතු කල වීරෝදාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, එම වීරෝදාර රණවිරුවන්ගේ දෙමව්පියන් ඇතුළු රණවිරු පවුල් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මස 14 වැනි දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

දසක තුනකට (03) ආසන්න කාලයක් මව්බිම වෙලා පැවති ත්‍රස්තවාදය, මානුෂීය මෙහෙයුමකින් අවසන් කර, මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල තීරණාත්මක දායකත්වය හමුවේ, ජීවිත පරිත්‍යාගයෙන් තම යුතුකම ඉටුකල, වීරෝදාර නාවික හමුදා පුද්ගලයින් සිදුකල අනභිබවනීය දායකත්වය සදානුස්මරණිය වේ.

එලෙස, මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර නාවික හමුදා පුද්‍ගලයන් වෙත උපහාර පුදකිරිම වෙනුවෙන්, හතර වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය විසින් අධියර කිහිපයක් යටතේ එම රණවිරු පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව රණවිරු උපහාර වැඩසටහන් පවත්වනු ලබයි.

ඒ අනුව, ත්‍රස්තවාදය හමුවේ එවකට උතුරු නැගෙනහිර ඇතුළු දිවයින වටා සාගර කළාපය ස්ථාවරව පවත්වා ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුණු සුවිශේෂි වගකීම ඉටුකිරීම සඳහා ත්‍රස්තවාදයට එරෙහිව හතරවන වේගප්‍රහාරක යාත්‍රා සමූහය විසින් සිදුකල වීර වික්‍රමාන්විත ක්‍රියාන්විතයන්හිදී, ජීවිත පරිත්‍යාග කල වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල මෙම උපහාර පුද කිරීමේ අවස්ථාවේදී, ආගමික වත් පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව, රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කෙරිණි.

තවද, මෙම අවස්ථාවට සමඟාමීව, දිවි පිදූ වීරෝදාර රණවිරුවන් වෙත ශක්තියක් වෙමින් රණවිරු පවුල් සිදුකල සුවිශේෂී කැපකිරීම ඇගයිම වෙනුවෙන්ද, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය විසින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරිණි.