මානුෂිය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය - 2025 නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

පුත්තලම ඟගේවාඩිය පිහිටි නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මූලස්ථානයේ, ආපදා කළමණාකරන පුහුණු පාසලේදි පැවැත්වූ තෙදින (03) මානුෂීය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය, 2025 නොවැම්බර් මස 14 වැනි දින පැවති එකාබද්ධ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් අනතුරුව, සාර්ථකව නිමාවට පත් විය.

“ All hands on deck” යන තේමාව යටතේ තෙදිනක් (03) පුරා පැවැති මෙම පුහුණු සැසිය න්‍යායික සහ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් සමන්විත වූ අතර, ආපදා සූදානම, සම්බන්ධිකරණය සහ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් විෂය ප්‍රාමාණික වෘත්තීයවේදීන් විසින් නිබන්ධන ඉදිරිපත් කරමින් න්‍යායික දැනුම හුවමාරු කරගැනීම පළමු දිනයේදී සිදුකෙරිණි. මානුෂීය ආධාර සහ ආපදා සහන පුහුණු සැසියෙහි දෙවන දිනයේදි න්‍යායික දැනුමට අදාලව ප්‍රායෝගික අභ්‍යාස සිදුකිරීම සඳහා සූදානම් විමේ පෙරහුරු අභ්‍යාස (Table Top Exercise - TTX) පැවැත්වුණු අතර, එහිදී ආපදා අවස්ථාවක් සඳහා පාර්ශ්වයන්ගේ සූදානම, සම්බන්ධීකරණය සහ ක්‍ෂණිකව ප්‍රථිචාර දැක්වීමේ උපායමාර්ගික ක්‍රමෝපායන් පිළිබඳව අදහස් සහ දැණුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, මෙම පුහුණු අභ්‍යාසයේ අවසන් දිනයේදී නායයෑම්, ගොඩනැගිලි කඩාවැටීම් සහ ගංවතුර ආපදා අවස්ථාවන්හිදී, ආපදා සූදානම, සම්බන්ධීකරණය සහ ක්‍ෂණිකව ප්‍රථිචාර දැක්වීමේ ක්‍රමවේද පිළිබඳව ප්‍රායෝගික අභ්‍යාස සිදුකිරීම, ඒ වෙනුවෙන් ස්ථාපිත පුහුණු සමාකෘති ආධාරයෙන් සිදුකෙරුණු අතර; ත්‍රිවිද හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ගිනි නිවීමේ හමුදාව සහ සුව සැරිය ගිලන් රථ සේවය යන පාර්ශ්වයන් එක්ව, අන්තර් ආයතන සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ මානුෂීය ආධාර සහ ආපදා සහන ප්‍රායෝගික අභ්‍යාස සාර්ථකව සිදු කෙරිණි.

තවද, ප්‍රායෝගික අභ්‍යාස සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක් වූ අතර, අභ්‍යාසය සඳහා සහභාගී වූ පාර්ශ්වයන් වෙත සහතික පත් ලබාදීම, නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.