75 වැනි නාවික හමුදා සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන නාවිකයනගේ සුහද හමුව නාවික සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පැවැත්විණි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සර දිනය සැමරීම නිමිත්තෙන් සර්ව ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවිකයන්ගේ සුහද හමුව අද (2025 නොවැම්බර් 07) වැලිසර ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල මෙම නාවිකයන්ගේ සුහද හමුව, නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින ජ්‍යේෂ්ඨ නාවිකයන් බහුතරයකගේ සහ සියළුම නාවික විධාන නියෝජනය කරමින් පැමිණි සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර, විශ්‍රාමික සහ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් හට තම සේවා අත් දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවිය.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, 75 වසරක් පුරා නාවික හමුදාව පැමිණි දීර්ඝ ගමන් මඟෙහි විවිධ වකවානුවන්හිදී නාවිකයන්ගේ වෘත්තීය දායකත්වය නාවික හමුදාවේ ක්රමික වර්ධනයට විශාල දායකත්වයත් ගෙන දී ඇති බවත්, එම දීර්ඝ ගමන් මඟතුල මව්බිම වෙනුවෙන් දිවිපිදූ නාවික හමුදා රණවිරුවන් කෘතවේදීව සිහිපත් කරන බවත් පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් වසර 75 කැපවීමෙන් කටයුතු කල ආකාරයටම ඉදිරියටත් නාවික හමුදාව අඛණ්ඩව කැපවන බවත්, ඒ සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ අත්දැකීම් තරුණ නාවිකයන්ගේ රාජකාරිය වඩාත් ගුණාත්මකව සිදුකිරීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇති බවත් පවසන ලදි. විශේෂයෙන් නාවික හමුදාව මත්ද්‍රව්‍ය උවදුරින් රටේ අනාගත පරපුර නිදහස්කර ගැනීම වෙනුවෙන් සුවිශේෂී කාර්යය භාර්යක් සිදුකරනු ලබන බවත්, පවසන ලදි.
නාවික හමුදා සංස්කෘතික වාදක හා නර්තන වෘන්දයේ ගායන, වාදන සහ නර්තන අංගයන් ගෙන් විචිත්‍රවත් වූ මෙම සුහද හමුවේදී, නාවික හමුදා දිනය වෙනුවෙන් පිරිනමනු ලබන සාම්ප්‍රදායික බඩාකානා ආහාරය ලබාගැනීම, සුහද හමුව සඳහා සහභාගී වූ නාවික හමුදා පුද්ගලයන් එක්ව නාවික සම්ප්‍රදායානුකූලව සිදුකෙරිණි.
තවද, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී ඒඑච්ඩී වීරතුංග, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයන් වෙනුවෙන් පාලක ප්‍රධාන සුළු නිලධාරී කේපී චමින්ද (විශ්‍රාමික) සහ කාන්තා ප්‍රධාන සුළු නිලධාරී එස්ඒඩීජේටී සමරසිංහ (විශ්‍රාමික) යන නාවිකයන් විසින් සුහද හමුව අමතා අදහස් දැක්වීය.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන්, ධජ නිලධාරි නාවික දියත් විධානය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඇතුළු, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ කාන්තා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.























































