ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ 04 වැනි පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සිව්වන (04) ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Role of Sri Lanka Navy in National Security’ යන කාලීන මාතෘකාව යටතේ 2025 නොවැම්බර් මස 03 වැනි දින ආරාධිත දේශනයක් පැවැත් වීමට කටයුතු කෙරිණි. තවද, එම අවස්ථාවේදී නාවික හමුදාධිපති වෙත ගෞරව පිරිනැමීම සනිටුහන් කරමින් ‘Hall of Fame’ ගෞරවනීය පුවරුව වෙත නාවික හමුදාධිපතිගේ නම ඇතුලත් කිරීමද එහිදී සිදුකෙරිණි.

ලොව ඕනෑම රාජ්‍යක ජාතික ආරක්‍ෂක අධ්‍යනය සම්බන්ධයෙන් ඉහලම ආයතනය ලෙස සැලකෙන, ජාතික ආරක්‍ෂක විද්‍යායතනයන්හි, ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ආරාධිත දේශන පැවැත්වීම, සම්ප්‍රදායක් ලෙස සිදුකරනු ලබයි.

ඒ අනුව, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල්, චමිල මුණසිංහගේ ආරාධනයෙන්, එම විද්‍යායතනයේ සිව්වන (04) ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් ‘Role of Sri Lanka Navy in National Security’ යන කාලීන මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා බලපානු ලබන භූ දේශපාලනික වාතාවරණය, ඒ ආශ්‍රීත ආර්ථික අභියෝග සහ එම අභියෝග කළමණාකරනය කිරීම සඳහා ජාතික ආරක්‍ෂව වෙනුවෙන් මෙහෙයුම් සිදු කිරිමේදී නාවික හමුදාව ප්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කරමින් දේශනය සිදු කෙරිණි.

එහිදී, ශ්‍රී ලංකාව තුල ඉහලම හමුදාමය අධ්‍යන ආයතනය වන ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පාඨමාලා අංක 01 හදාරා නාවික හමුදාධිපති දක්වා උසස්වීම් ලැබීම තුළින් විද්‍යායතනයට ලබාදුන් ගෞරවය සනිටුහන් කිරීම වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් මඟින්, මෙලෙස ‘Hall of Fame’ ගෞරවනීය පුවරුව වෙත නාවික හමුදාධිපතිගේ නම ඇතුලත් කිරීම සිදුකෙරිණි.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරාල්, චමිල මුණසිංහ අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.