2025 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියත් විධානය විසින් හිමි කර ගනියි

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2025 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේදී, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු අතර, එහිදී දියත් විධානය 2025 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අන්තර් විධාන සරඹ තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කිරීම මඟින්, නාවික හමුදා නිලධාරින්ගේ සහ නාවිකයින්ගේ මනා විනය හා පැවැත්ම සහ අණදීමේ හැකියාව වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කරනු ලබයි.

මෙවර දොළොස්වන (12) වරට පවත්වන ලද අන්තර් විධාන සරඹ තරඟාවලිය සඳහා දියත්, දකුණු, නැගෙනහිර, උතුරු, බටහිර, ගිණිකොණ, උතුරු මැද, වයඹ සහ පුහුණු යන විධාන නියෝජනය කරමින් කණ්ඩායම් නවයක් (09) සහ කාන්තා නාවිකයින් නි‍යෝජනය කරමින් එක් (01) කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දහයක් (10) සහභාගී විය.

මනා අණ හා පාලනය සහ ආකර්ෂණීය සරඹ විලාශයක් පෙන්නුම්කල දියත් විධානය, 2025 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානයට හිමි කුසලානය හිමිකර ගැනීමට සමත් විය. එහි දෙවන ස්ථානය උතරු මැද නාවික විධානයත්, තෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානයත් හිමි කරගත් අතර තරඟාවලියේ දක්ෂතම අණදීමේ නිලධාරියාට හිමි කුසලානය දියත් විධානයේ ලුතිනන් ආර්එම්පිබි රත්නායක විසින් සහ දක්ෂතම සරඹ ඉදිරිපත් කළ නාවිකයාට හිමි කුසලානය නායක නැවි ඩිඒඑස්එස් අත්තනායක විසින් හිමිකරගන්නා ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරුමැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉංදික ද සිල්වා, අධ්‍යක්‍ෂ නාවික අවි කොමදෝරු දුම්න්ද හෙට්ටිආරච්චි, ශ්‍රී ලංනානෞ ශික්‍ෂා ආයතනයේ ආඥාපති කපිතාන් ලක්‍ෂ්මන් අමරසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සරඹ උපදේශකයින් මෙන්ම යුද හා ගුවන් හමුදා සරඹ උපදේශකයින් පිරිසක් සහභාගී වී සිටියහ.