TECHNO 2025 හිදී ප්‍රදර්ශනය කළ නාවික හමුදා ඉංජිනේරු නවෝත්පාදන විශිෂ්ඨත්වය
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද TECHNO 2025, ඉංජිනේරු සහ තාක්‍ෂණ ප්‍රදර්ශනය 2025 ඔක්තෝබර් 10 සිට 12 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු නවෝත්පාදන විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු සහ තාක්ෂණ විද්‍යාලය (College of Military Engineering and Technology, Sri Lanka - CMETSL) යටතේ, සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ තාක්‍ෂණික ශක්තිය ඉස්මතු කරමින්, ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නවෝත්පාදන ප්‍රදර්ශනය කෙරුණු අතර, එහිදී නාවික හමුදාව යාන්ත්‍රික ඉංජිනේරු ව්‍යාපෘති 07 ක්, සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති 08 ක් සහ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ව්‍යාපෘති 07 ක් සියළු නාවික විධාන නියෝජනය කරමින් ප්‍රදර්ශනය කෙරිණි.
එමෙන්ම, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනය, නාවික තාක්‍ෂණ ආයතනය සහ නාවික සැලසුම් ඒකකය විසින් ප්‍රදර්ශනය කෙරුණු නවෝත්පාදන මඟින්, නාවික හමුදාවේ සැලසුම්, නිෂ්පාදන සහ නව තාක්‍ෂණය පිළිබඳ විශිෂ්ටත්වය තවදුරටත් අවධාරණය කෙරිණි.
තවද, ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ සහ සිවිල් ක්‍ෂේත්‍රයේ ඉංජිනේරු වෘත්තිකයන් අතර දැනුම හුවමාරුව සඳහා සුවිශේෂී වේදිකාවක් නිර්මාණය කෙරුණු මෙම TECHNO 2025 ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්වීම මඟින්; නවෝත්පාදන, වෘත්තීය සංවර්ධනය සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා මෙන්ම, ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අඛණ්ඩ කැපවීමද විශේෂයෙන් අවධාරණය කෙරිණි.