ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් 37ක් වෙත නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ලාංඡන පැළඳවයි
නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විසිනව වැනි (29) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස්හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, 2025 සැප්තැම්බර් මස 06 වැනි දින පුත්තලම, ගඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ අණදෙන නිලධාරී කපිතාන් සුදේෂ් චින්තක හා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.
මාස හයක (06) කාල සීමාවක් පැවති මෙම පුහුණු පාඨමාලව තුලදී කුඩා යාත්‍රා මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ හදිසි හා ස්වභාවික ආපදා තත්වයන්හි දී ආපදාවට පත්වන පිරිස් ඉන් මුදවා ගැනීම හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්‍ෂා කර අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.
ලාංඡන පැළඳවීමේ උත්සවයේදී, පුහුණු කාල සීමාව තුළ සුවිශේෂී කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම, නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි. ඒ අනුව, දක්‍ෂතම ජීවිතාරක්‍ෂකයා ලෙස ලුතිනන් ඒජේඑම්ඩීපී අබේකෝන් සහ දක්ෂතම යාත්‍රා හසුරවන්නා ලෙස ලුතිනන් ටීපීජීටීඒ ගුණසේකර විසින් සම්මාන හිමි කර ගන්නා ලද අතර, විශිෂ්ඨතම පුහුණුවන්නා ලෙස බල නැවි පීජීඩී සම්පත් සහ හොඳම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා ලෙස සාමාන්‍ය නැවි එස්ජේඑම්එස්ඩී සමරකෝන් විසින් සම්මාන හිමි කර ගන්නා ලදි.
මෙම ලාංඡන පැළඳවීමේ උත්සවයට සමඟාමීව, සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් 29 වැනි සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් කුඩා යාත්‍රා උපයෝගී කරගනිමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමේ සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයන් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක් විය.
පුහුණුව අවසන් කල නාවික හමුදා පුද්ගලයින් ඇමතූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ස්වකැමැත්තෙන් හා අධිෂ්ඨානශීලීව අභියෝගාත්මක පුහුණුවක් සාර්ථකව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් වෙත සිය සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය අතීතයේදී මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ අභීත නාවික පුද්ගලයන්ගෙන් සමන්විත වූ බවත්, එම වීරෝධාර නාවික පුද්ගලයන් ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබන බවත් පවසන ලදී.
එඩිතර පුතුන් මෙලොවට දායාද කර, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වීමට ශක්තිය, ධෛර්ය හා ආශිර්වාදය ලබාදුන්, විසිර යන නාවික පුද්ගලයන්ගේ ආදරණීය දෙමාපියන් වෙත මෙන්ම, සුවිශේෂී පුහුණුවක් ලබා දෙමින්, මෙම කණ්ඩායම හැඩගැස්වීම සඳහා කැපවූ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණයේ අණදෙන නිලධාරී ඇතුළු පුහුණු උපදේශක මණ්ඩලය වෙතද එහිදී නාවික හමුදාධිපති විසින් සිය ප්‍රණාමය පුද කෙරිණි.
එමෙන්ම, පුරවැසි වගකීම් මූලික කරගත් තිරසාර සැලසුම් මඟින් පෝසත් රටක්, ලස්සන ජීවිතයක් යන රාජ්‍ය ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මෙන්ම, සුරක්‍ෂිත සාගර කලාපයක් පවත්වාගෙන යාම ඇතුළු ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන්ද, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීමේදී, පුහුණුව තුලින් ලද වෘත්තීය දැනුම සහ කුසලතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, විසිර යන නාවික හමුදා පුද්ගලයන්ගේ අධිෂ්ඨානශීලී කැපවීම නාවික හමුදාව අඛණ්ඩව අපේක්‍ෂා කරන බව අවසාන වශයෙන් නාවික හමුදාධිපති අවධාරණය කෙරිණි.
ලාංඡන පැළඳවීමෙන් අනතුරුව, 29 වැනි බඳවාගැනීමට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ දෙමව්පියන් සහ පවුල්වල සමීපතමයින් අමතමින්, පුහුණුව සම්පූර්ණ කිරීමට පමණක් නොව, රාජකාරී ජීවිතයේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටුකිරීම වෙනුවෙන්ද දෙමව්පියන්ගේ සහ පවුල්වල සමීපතමයින්ගේ දිරිගැන්වීම, නාවික හමුදාව තවදුරටත් අපේක්‍ෂා කරන බව පවසන ලදී.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි අනූෂා බානගොඩ මැතිණිය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය ස්ථාපිත කිරීම වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කල රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ (විශ්‍රාමික ), අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, වයඹ නාවික විධානයේ හා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් හා සමීපතමයින් පිරිසක් සහභාගී වී සිටියහ.