නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චන්දිම සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චන්දිම සිල්වා අද (2025 අගෝස්තු 28) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වැනි උපන්දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් චන්දිම සිල්වා වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් චන්දිම සිල්වා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1991 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 09 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හී අණභාර නිලධාරී ලෙස සහ නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදුකොට ඇත. තවද, ඔහු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සුභසාධන, නාවික පරීක්‍ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂක, වයඹ නාවික විධානයේ නියොජ්‍ය ආඥාපති, ධජ නිලධාරී නාවික දියත් විධානය, දකුණු නාවික විධානයේ ආඥාපති, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.