කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් හා ප්‍රදර්ශනයක් වැලිසර නාවික රෝහල් පරිශ්‍රයේදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine - SLCOMM) විසින් සංවිධානය කළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ එක්දින වැඩමුළුවක් සහ කිමිදුම් වෛද්‍ය ප්‍රදර්ශනයක්, 2025 අගෝස්තු මස 06 සිට 08 දක්වා, වැලිසර නාවික මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය මඟින් එහි සාමාජිකත්වය දරණ යුද, නාවික සහ ගුවන් හමුදා වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන්, 2025 මැයි සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ සිදුකෙරෙණ අධ්‍යයන ක්‍රියාකාරකම් යටතේ මෙම වැඩමුළුව සහ ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි.

ඒ අනුව, 2025 අගෝස්තු මස 06 වැනි දින පැවති එක් දින (01) වැඩමුළුව, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා, ශල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් ජානක මාරඹේගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. එහිදී, කිමිදුම් ක්‍රම (Types of Diving), කිමිදුම් ශිල්පීය ක්‍රම (Diving Techniques), සමුද්‍ර ජීවීන් සපා කෑම හා පහර දීම (Biting & Attacking Marine Animals), දිය යට භෞතික තත්වය (Underwater Physics), කිමිදීමේදි ඇතිවන අනතුරු සඳහා ප්‍රථමාධාර කිරීම (First Aid for Diving Accidents), සමුද්‍ර බැක්ටීරියා රෝග කාරක නිසා ඇතිවන පටක ආසාදන (Skin & Soft Tissue Infections) සහ කිමිදුම් කටයුතු සිදු කිරීමේදී ඇතිවන සංකූලතා සඳහා ප්‍රථිකාර කිරීම මෙන්ම, නැවත සම්පීඩනය කිරීමේ කුටීරය භාවිතයෙන් සංකූලතාවයට ලක්වූ කිමිදුම්කරුවන් හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සාව (Hyperbaric Oxygen Therapy) මඟින් කළමනාකරණය කිරීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් වෛද්‍ය සේවාවන්හී වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෛද්‍යවරුන් තිස් දෙදෙනෙකු (32) මෙන්ම, දිය යට කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය සහිත වෛද්‍ය සහායක නාවිකයින් නව දෙනෙකු (09) සහභාගී වූ අතර, වැඩමුළුව සාර්ථකව සම්පූර්ණ කළ සැමට සහතිකපත් පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.

තවද, කිමිදුම් වෛද්‍ය ප්‍රදර්ශනයේදී, අනතුරුදායක මුහුදු ජීවීන් හඳුන්වා දීම සහ එම ජීවීන්ගෙන් සිදුවිය හැකි අනතුරු, මුහුදු පත්ල කිමිදුම් කිරීමේදී ඇතිවිය හැකි අසම්පීඩන රෝගී තත්වය ‍සහ එවැනි අනතුරු හා රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර සිදුකිරීම පිළිබඳ දැනුවත් කිරීම සිදුකෙරිණි.