ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් ලුතිනන් කොයාන් චාමිත වෙත විශේෂ ඇගයීමක්
ලොව විශේෂ හමුදා වෙනුවෙන් පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධානය (US Navy, Naval Special Warfare Basic Training Command) මඟින් පවත්වනු ලබන අති දුෂ්කර මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සීල් පලඳනාව (SEAL Trident pin) හිමිකරගත් ලුතිනන් කොයාන් චාමිත, අද (2025 අගෝස්තු 05) නාවික හමුදා මුලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. එහිදී, සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් සහ අභිමානයක් ගෙන දෙමින් සමස්ත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවට ලබාදුන් වටිනා ආදර්ශය ඇගයූ නාවික හමුදාධිපති ඔහු වෙත සුභාසිංශන පිරිනැමීම සිදුකෙරිණි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, විද්‍යාලයේ විෂය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් වැඩිදියුණු කරගත් නායකත්ව ගුණාංග සමඟින්, 2017 වර්ෂයේ ජූනි මස 30 වැනි දින 60 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ලුතිනන් කොයාන් චාමිත නාවික හමුදාවේ පුහුණුව සඳහා එක්විය. මූලික පුහුණුවෙන් පසු විශේෂ යාත්‍රා බළඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 2025 වර්ෂයේ ජනවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධානය වෙත සීල් පුහුණුව සඳහා අනුයුක්ත විය.
ලොව විශේෂ හමුදාවන්ගේ සාමාජිකයන් සඳහා පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සීල් පුහුණුව (Instruction in Basic Underwater Demolition/ SEAL Training) තුල සිදුකෙරෙණ බහු-අදියර සුදුසුකම් ක්‍රියාවලියේදී මූලික දිය යට බිදහෙලීම්, උසස් සංග්‍රාමික කිමිදීම්, ගොඩබිම් සංග්‍රාම සහ කුඩා කණ්ඩායම් සංග්‍රාමික උපක්‍රම ඇතුළු සුවිශේෂී අති දුෂ්කර පුහුණු අදියරයන් තුලින් ඉහල ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුත් විශිෂ්ඨයන් බිහි කිරීම සිදුකරනු ලබයි.
ඒ අනුව, එවන් සුවිශේෂී පුහුණුවක් සඳහා අනුයුක්ත වූ දෙසීයයක (200) පමණ පුහුණුවන්නන් අතුරින්, සීල් ට්‍රයිඩන්ට් පලඳනාව හිමිකරගත් විසිහත් දෙනා (27) අතරට තේරී පත්වී, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් සහ අභිමානයක් ගෙන දීමට ලුතිනන් කොයාන් චාමිත සමත්වීම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු හා සංවර්ධන ක්‍ෂේත්‍රය අත්පත්කර ගත් සුවිශේෂී ජයග්‍රහනයක් ලෙසද සනිටුහන් වේ.