යුද, නාවික සහ ගුවන් හමුදා නාවිකයන්/ සෙසු නිලයන්ගේ පුහුණුව, පරිපාලනය සහ සුභසාධනය පිලිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් සහ වැඩමුළුවක් නාවික හමුදා මූලස්ථානයේදී

යුද, නාවික සහ ගුවන් හමුදා නාවිකයන්/ සෙසු නිලයන්ගේ පුහුණුව, පරිපාලනය සහ සුභසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් සහ එක්දින වැඩමුළුවක් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී පීආර්එම්ජීබී පුස්සලමංකඩගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදා බළලත් නිලධාරින්ගේ සහභාගිත්වයෙන්, 2025 ජුලි මස 16 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණු අතර, ඊට සමගාමීව එම පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිමද සිදුකෙරිණි.

ඒ අනුව, මෙම හමුව හා එක්දින වැඩමුළුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ වැඩ බලන රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු අනෙකුත් බළලත් නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංශ කිහිපයක ජ්‍යෙෂ්ඨතම පාලක ප්‍රධාන සුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරී ඇතුළු අනෙකුත් බළලත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවත්වුණු අතර, එහිදී, ත්‍රිවිධ හමුදා සෙසු නිලයන්ගේ පුහුණුව, පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධයෙන් පවත්නා තත්වය හා කාලීන ගැටළු පිළිබඳ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි. සහෝදර හමුදාවන්ගේ බළලත් නිලධාරීන් අතර සහයෝගීත්වය වර්ධනය කරමින් පැවති මෙම විශේෂ වැඩමුළුවෙන් අනතුරුව, එම පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව නැරඹීම සඳහාද එක්විය.

තවද, මෙම හමුව සහ වැඩමුළුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීම සහ යුද හා ගුවන් හමුදා බළලත් නිලධාරීන් විසින් සමරු තිළිණ ප්‍රධානය කිරීමද සිදුකෙරිණි.