ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 410ක් බූස්සේදී විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හැටඅට දෙනෙකු (368) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් දෙදෙනෙකු (42) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දස දෙනෙකු (410) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 ජූලි මස 18 වැනි දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලෝහිත ද සිල්වා ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් චන්දිම සිල්වා මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, අභියෝගාත්මක වෘත්තියක් සොයන දැයේ ජවසම්පන්න දූ පුතුනට විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව් බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා අවස්ථාව උදා කර දී ඇත. එහි උපරිම පල නෙලාගත් දූ පුතුන් 410 දෙනෙකු, නිත්‍ය අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 165 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 203 දෙනෙකු ද, ස්වේච්ඡා අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 12 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 30 දෙනෙකු ද වශයෙන් ආධුනික නාවිකයන් 410 දෙනෙකු 258 සහ 259 වැනි ආධුනික බඳවා ගැනීම් යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය වෙත අනුයුක්ත විය.

මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම, මෙම විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති විසින් සිදු කෙරිණි. ඒ අනුව, 258 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය හා සියළුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි කේඒඩීජේ කරසිංහ විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ආර්ජීසීසී ධර්මදාස විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි පීජීඒඅයිඑස් අබේරත්න විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 258 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘පණ්ඩුකාභය’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, 259 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික කාන්තා නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ජේඑස්එස් ජයකොඩි විසින්ද, සියළුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික කාන්තා නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එස්එස්ටී රණවීර විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩීඑම්අයි චතුරි විසින් සහ දක්‍ෂතම ඉලක්කකාරියට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩබ්පීපීපීඑස් ජයවර්ධන විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 259 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘මහාමායා’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දූපත් රාජ්‍යයක් ලෙස මව්බිමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති බවත්, ශ්‍රී ලංකාව සාමකාමී හා නිවහල් දේශයක් බවට පත්කිරීම සඳහා තාක්ෂණයෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් යුතු විජයග්‍රාහී නාවික හමුදාවක් ලෙස විශිෂ්ඨ දායකත්වයක් නාවික හමුදාව දක්වා ඇති බවත්, එවන් වූ නාවික හමුදාවක සාමාජිකයන් බවට පත්වන විසිර යන ආධුනික නාවිකයන් වෙත, සාමය අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සඳහා ඉදිරියට රාජකාරීන් හා වගකීම් පැවරෙනු ඇති බවත්, රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස් කරුවන් ලෙස ඒ සඳහා දායක වෙමින්, ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දීමෙන් තම වගකීම් මනාව වටහා ගත් කාර්යශූර විනය ගරුක නාවිකයෙකු ලෙස මවුබිමට විශිෂ්ඨ සේවයක් ලබා දීමට විසිර යන ආධුනික නාවිකයන් අධිෂ්ඨාන කරගත යුතු බවත් පවසන ලදී.

අතීත රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් උදාකර දුන් සාමය ආරක්‍ෂා කිරීමටත්, රටේ සීඝ්‍ර සංවර්ධනයේ යුග මෙහෙවරට උර දීම සඳහාත් තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට බැඳීමට ගත් තිරණයට එකඟ වෙමින්, ඔවුන් ඒ සඳහා දිරි ගන්වමින් නාවික හමුදාවට දායාද කළා වූ විසිර යන ආධුනික නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් වෙත මෙන්ම, ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා දායකවූ පුහුණු කාර්යය මණ්ඩලය වෙත සිය ප්‍රණාමය පුද කිරීම ද, එහිදී රියර් අද්මිරාල් චන්දිම සිල්වා විසින් සිදුකෙරිණි.

එමෙන්ම, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ ප්‍රදර්ශනාත්මක අංගයකින් ද වර්ණවත් විය.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.