නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, මාර්තු 20 දිනට යෙදුණු ලෝක මුඛ සෞඛ්‍ය දිනය, ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 ජුලි මස 13 වැනි දින සිට 16 වැනි දින දක්වා අම්පාර දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය, අම්පාර සහ කල්මුණේ ප්‍රාදේශීය දන්ත වෛද්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සහ නාවික හමුදා සේවා වනිතා ඒකකය එක්ව, යුනිලීවර් (පුද්ගලික) ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානය කල මෙම දන්ත වෛද්‍ය සායනය හිමදුරාව ශ්‍රී සුමංගලරාම දහම් පාසල, පොතුවිල්, උල්ල, අම්/සිංහපුර සිංහල විද්‍යාලය සහ පොතුවිල්, අම්/ඌරානි සරස්වතී මහා විද්‍යාලය යන ස්ථාන ආශ්‍රිතව සිසු දරු දැරියන් 340ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තවද, මෙම දන්ත වෛද්‍ය සායන සඳහා සහභාගී වූ පාසල් දරුදැරියන් හට නොමිලේ දත් පරීක්‍ෂා කිරීම හා පිරිසිදු කිරීම ඇතුළු දන්ත සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවු අතර, එම සායනයේදී දන්ත සෞඛ්‍ය ඉහල නැංවීම සහ නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමද සිදුකෙරුණි.