ලෝක ජල ශාස්ත්‍රීය දිනය වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ශවත්ව සැමරේ

ජුනි මස 21 වන දිනට යෙදෙන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය කාර්යාලය ගෝලීය ප්‍රජාව හා එක්වෙමින් ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීම, අද (2025 ජුනි 24) ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ශවත්ව සිදුකෙරිණි.

සාගර සම්පත්හි තිරසාර භාවිතය, සමුද්‍රීය පාරිසරික ආරක්‍ෂාව, ජලශාස්ත්‍රීය කටයුතු වල වැදගත්කම සහ නාවික ගමනාගමනය සඳහා එහි තීරණාත්මක භූමිකාව දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර ජලශාස්ත්‍රීය සංවිධානය (IHO) මඟින් සෑම වසරකම ජුනි මස 21 වැනි දින ‍ලෝක ජලශාස්ත්‍රීය දිනය සමරනු ලබන අතර, එමඟින් ලොව පුරා සිටින ජලශාස්ත්‍රඥයන්ගේ වෘත්තීමය දායකත්වය සහ නිවැරදි ජලශාස්ත්‍රීය දත්තයන් විවිධ සාගර ක්‍රියාකාරකම් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම මෙම දිනය මඟින් ඉස්මතු කරනු ලබයි. 2006 වර්ෂයේ සිට වාර්ෂිකව විවිධ කාලීන තේමාවන්ට අනුකූලව පවත්වනු ලබන ‍ලෝක ජලශාස්ත්‍රීය දිනයේ මෙවර (2025) තේමාව වන්නේ ‘මුහුදු පතුල සිතියම්ගත කිරීම: සාගර ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීම’ (Seabed Mapping: Enabling Ocean Action) යන්නයි.

ඒ අනුව, ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී විසින්, ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය කාර්යාලය 2023 වර්ෂයේදී ආරම්භ කළ දින සිට ලබාගත් ජයග්‍රහණ සහ එහි ක්‍රමික වර්ධනය අවධාරනය කරමින් ලෝක ජල ශාස්ත්‍රීය දින සැමරුම් උත්සවයේ පිලිගැනීමේ දේශනය සිදුකෙරිණි. අනතුරුව, ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා විසින් ජාතික ඔරොත්තු දීමේ හැකියාව, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආරක්‍ෂිත නාවික කටයුතුවලදී ජල ශාස්ත්‍රීය සේවාවේ වැදගත්කම ඉස්මතු කරමින් උත්සව සභාව ඇමතීම සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය සේවාවේ වර්ධනය පිළිබඳව සහ ඉන්දියානු සාගර කලාපයේ සුරක්‍ෂිත නාවික ගමනාගමනයක් සහ අනෙකුත් සමුද්‍රීය කටයුතු වෙනුවෙන් එහි කාර්යය භාර්යය පිළිබඳව අදහස් දැක්වීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ (විශ්‍රාමික) විසින් උත්සව සභාව අමතමින්, වරාය සංවර්ධනයේදී, සමුද්‍රීය අවකාශීය සැලසුම්කරණයේදී හා ඩිජිටල්කරණ පරිවර්තනයේ බලපෑම කලමනාකරණයේදී, ආර්ථික සංවර්ධනය සහ පාරිසරික භාරකාරීත්වය අතර සම්බන්ධය ඇති කිරීම සඳහා සුවිශේෂී කාර්යය භාර්යයක් ජල ශාස්ත්‍රීය සේවාව විසින් සිදුකරන බව පවසන ලදි.

එමෙන්ම, ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ සභාපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි (විශ්‍රාමික) උත්සව සභාව අමතමින් අදහස් දැක්වීමෙන් අනතුරුව, ‘Marine Aids to Navigation, IALA’ යන තේමාව යටතේ IALA World – Wide Academy ආයතනයේ Gerardine Delanoye මහත්මිය විසින් ද, ‘Applicability of Seabed 2030 to Island States’ යන තේමාව යටතේ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේශණ විද්‍යාඥ, ආචාර්ය Vicki Ferrini මහත්මිය විසින්ද, ‘In geopolitical arena, why Sri Lanka is considered as geopolitical hotspot. Is it a myth or reality?’ යන තේමාව යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ, මහාචාර්ය මනීෂා පැස්කුවෙල් මහත්මිය විසින් සහ Role of Hydrography in Delineation of Continental Margin’ යන තේමාව යටතේ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (විශ්‍රාමික) විසින් එහිදී විද්වත් දේශන පැවැත්වීම සිදුකෙරිණි.

තවද, මෙම ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීමේ උත්සව අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සමුද්‍රීය ක්‍ෂේස්ත්‍රයේ විද්වතුන් හා පාර්ශ්වකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විද්‍යාර්ථීන්, පුහුණුවන වෙළඳ නාවික නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.