නාවික පුහුණු ‍ක්‍ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුකල ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍රගේ අභාවය පිළිබඳව නාවික හමුදාවේ සංවේගය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු කටයුතු වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදුකරමින්, දැනුම කුසලතා සහ යහපත් ආකල්ප සහිත නායකයන් නාවික හමුදාව වෙත දායාද කරදීම උදෙසා සුවිශේෂී දායකත්වයක් දැක්වූ, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර, 2025 ජුනි මස 19 වැනි දින අභාවප්‍රාප්ත විය.

1933 වර්ෂයේ අප්‍රේල් මස 17 වැනි දින උපත ලබා ඇති එතුමන්, 1955 වර්ෂයේදී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල‍යෙන් උපාධිය සම්පූර්ණ කර, 1960 වර්ෂයේදී රාජකීය ලංකා නාවික හමුදාවේ පළමු උපදේශක නිලධාරීයා ලෙස ලුතිනන් නිලයෙන් අධිකාරියට පත්ව ඇත. එතැන් සිට එවකට රාජකීය ලංකා නාවික හමුදාවේ පුහුණු ආයතන ලෙස පැවති දියතලාව සහ කොච්චිකඩේ පුහුණු ආයතනයන්ට අනුයුක්තව සේවය කිරීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ උපදේශක වරයෙක් ලෙස සේවය කර ඇත. 1968 වර්ෂයේදී ලුතිනන් කොමාණ්ඩර් නිලයට උසස්වී ඇති ඔහු, නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව මාණ්ඩලික නිලධාරි පුද්ගල හා පුහුණු ලෙස රාජකාරි සිදුකර, නාවික හා සාගරික විද්‍යාපීඨයේ හයවැනි ආඥාපති වශයෙන් කටයුතු කටයුතු කර ඇති අතර, එවකට ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය තුල සේවා පුද්ගලයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තිස්ස විද්‍යාලය ආරම්භ කිරීම සඳහාද එතුමන් පුරෝගාමී මෙහෙවරක් සිදුකර ඇත.

රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් උපදේශක වරයෙක් ලෙස කටයුතු කල එතුමන්, 1976 වර්ෂයේ දී නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුවද, නැවත සේවයට පැමිණ, නාවික හමුදා පරිපාලන හා සුභසාධන අධ්‍යක්‍ෂකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ලෙසත්, පසුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ නියෝජ්‍ය ආඥාපති ලෙසත් කටයුතු කර ඇති ඔහු; දීර්ඝ සේවා පදක්කම, නාවික හමුදාවේ 25 වැනි සංවත්සර පදක්කම, ජනරජ පදක්කම සහ රිවිරැස මෙහෙයුම් පදක්කමෙන් පිදුම් ලබා ඇත.

පසුකාලීනව වසර දහඅටක (18) පමණ කාලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනයන් වෙත සේවය ලබාදී ඇති එතුමන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයාගේ විශේෂ උපදේශක වරයෙක් ලෙස කටයුතු කරමින්, සමුද්‍රීය පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය (Maritime Archaeology) ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබාදී ඇත. එමෙන්ම, රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ද ආයතන ගණනාවක් වෙත උපදේශක දායකත්වය ලබා දී ඇති එතුමන් නාවික හමුදා ඉතිහාසය, සමුද්‍රීය පුරාවිද්‍යාව සහ සමුද්‍රීය ඉතිහාසය පෝෂණය කිරීම වෙනුවෙන් පර්යේෂණාත්මක ලේඛණයෙන් හා ග්‍රන්ථ රචනා කරනයෙන්ද දායක වී ඇත.

තවද, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර සිය වසර අනූ දෙකක (92) දිවිසැරිය නිමාකර සමුගන්නා තෙක්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විවිධ අවස්තාවන් හිදී සිය විශේෂඥ දැනුම නොපැකිලිව ලබාදී තම යුතුකම මව්බිම වෙනුවෙන් නිහඬව ඉටුකළ කීර්තිමත් නිලධාරියකු වන අතර, නාවික හමුදා සක්‍රීය සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන්ගේ බුහුමන් මධ්‍යයේ ඔහුගේ අවසන් කටයුතු 2025 ජුනි මස 21 වැනි දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.