සාගරයේ තෙල් කාන්දු හා විසිරීම් කළමනාකරණය කර ගැනීමේ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් කන්කසන්තුරයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල තෙල් විසිරීමක් සිදු වුවහොත් ඒ සඳහා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ සූදානම වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය පරිසරයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් කන්කසන්තුරය වරායේ ‘පී.එච්’ ජැටිය ආශ්‍රිතව 2025 ජුනි මස 16 සහ 17 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, ජාතික තෙල් හා අන්තරායකර ද්‍රව්‍ය හදිසි සැලැස්ම (NOHSCP) යටතේ සමුද්‍රීය දූෂණ සිදුවීම් කළමනාකරණය කිරීමේ පළමු ප්‍රතිචාරකයා ලෙස ක්‍රියාකරනු ලබන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුව විසින් මෙහෙයවන ලද මෙම අභ්‍යාසය තුලදී, මෙහෙයුම් සූදානම සහ අන්තර් ආයතන සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා මුලපිරීම, ඉදිරියේදී සිදුවිය හැකි තෙල් විසිරීමේ ආපදා අවස්ථා සඳහා ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ සූදානම වැඩි දියුණු කිරීම අපේක්‍ෂා කෙරිණි.

තෙල් විසිරීමකදී සමුද්‍රීය පරිසරයට හානි නොවන ලෙස එම ආපදා තත්වය කළමනාකරණය සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැණුම ලබා දීම සහ තෙල් විසිරීමේ නිදර්ශණයක් මඟින් ප්‍රායෝගිකව ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී, උපකරණ හැසිරවීම සහ අන්තර් ආයතන සමඟ නිසි ලෙස සන්නිවේදනය වීම පිළිබඳ දැනුවත් කිරීම මෙම අභ්‍යාසයේදී සිදුකෙරිණි.