තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවේ ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2025 ජුනි 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරු කිරීම වැනි නාවික අභ්‍යාස සාර්ථකව සිදුකරන ලද අතර, නෞකා අතර සිදුකෙරුණු ආචාර හා සමාචාරයෙන් පසුව ඒකාබද්ධ අභ්‍යාසය නිමාවට පත්විය.

මෙම නිල සංචාරයේදී, ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ගරු Semih Lütfü Turgut මහතා සමඟ ‘TCG BÜYÜKADA’ නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් Anil BİLGİN විසින් නිල හමුවක් සඳහා 2025 ජුනි මස 13 වැනි දින නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය. එහිදී, ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

‘TCG BÜYÜKADA’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ නැව්මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේදී සංවිධානය කෙරුණු වොලිබෝල් තරඟාවලියක් සඳහා මෙන්ම, දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී විය. එමෙන්ම, එම නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීමට සහ එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හටද අවස්ථාව උදා විය.

තවද, ‍ මෙවැනි නිල සංචාර මඟින් දෙපාර්ශවය අතර හුවමාරු කර ගනු ලබන නව දැනුම සහ අත්දැකීම් තුළින් වැඩිදියුණු වන සුහදත්වය, සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය, සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමට මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.