නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති 2025 ජුනි මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු කාර්‍යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයඹ නාවික විධානය වෙත එම විධානයේ ආඥාපති විසින් පිළිගැනීමෙන් අනතුරුව, ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය හා එම ආයතනයට අයත් නාවික ස්ථානගත කිරීම ආනවාසල, නොරොච්චෝලේ, උච්චමුනිය සහ බත්තලන්ගුණ්ඩුව යන නාවික අණුකණ්ඩ මඟින් සිදුකරනු ලබන මෙහෙයුම්, සුභසාධන හා සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කිරීම එම විධානයේ අණදෙන නිලධාරීන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ එක්ව සිදුකෙරිණි. අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා භරන ආයතනය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම්, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර එම කටයුතු කාර්‍යක්‍ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකෙරිණි.
නාවික හමුදාධිපතිගේ වයඹ නාවික විධාන නිල සංචාරයේදී නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම, ශ්‍රී ලංකා නාවික නෞකා විජය සහ භරණ ආයතනයන්හිදී සිදු කෙරිණි.
එහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යය භාරයක් ශ්‍රි ලංකා නාවික හමුදාවට පැවරී ඇති බවත්, සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින් ඒ මතින් සිදුකෙරණ ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදු කිරීම සඳහා අවශ්‍ය ස්ථායී සාගර කලාපයක් පෝෂණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ වගකිම බවත් පවසන ලදි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මානුෂීය මෙහෙයුම පැවති සමයේ දේශයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් සිදුකල අමිල දායකත්වය ඇගයීමට ලක් කරමින්, රට අස්ථාවර කිරීම සඳහා නොයෙකුත් බලවේග විසින් බෙදුම්වාදී අදහස් ප්‍රචලිත කිරීම සඳහා ගනු ලබන උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා, පැවරෙන රාජකාරීය නිසි උපදෙස් හා මඟපෙන්වීම ලබා ගනිමින් විධිමත් ක්‍රමවේදයට අනුකූලව සිදුකිරිම සඳහා කැපවීම අපේක්‍ෂා කරන බවත් පවසන ලදි. ජාතික ආරක්‍ෂාවට සමඟාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ඇතුළු රජයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක වෙමින්, දේශය සහ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන්; උසස් විනය, පුහුණුව, කායික හා මානසික යෝග්‍යතාවය සහිත වෘත්තීය නිපුණ, තාක්‍ෂණයෙන් පිරිපුන් නාවික හමුදාවක් පවත්වා ගැණිම අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රවීණ පරිණත, ජ්‍යෙෂ්ඨ නාවිකයන් වෙතින් කණිෂ්ඨයන් වෙත නිරතුරුව උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම අවශ්‍ය බවත් අවධාරණය කෙරිණි.
මත් ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දේශිය ජල තීරය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා සිදුකරනු ලබන සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන්, දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරයේද ප්‍රශංසාව නාවික හමුදාවට හිමිවී ඇති බව පැවසූ නාවික හමුදාධිපති, වයඹ මුහුදු තීරය ඔස්සේ සිදුකෙරෙන අනවසර භාණ්ඩ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් එම විධානයේ නාවික හමුදා පුද්ගලයන්ගේ දායකත්වය ඇගයීමට ලක්කෙරිණි. රටේ ජාතික ආරක්‍ෂාවට සමගාමීව නාවික හමුදාව සිදුකරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘති, මානුෂීය ආධාර සහ ආපදා සහන කටයුතු, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙණ ව්‍යාපෘති ඇතුළු පුළුල් පරාසයක රාජකාරීන් සිදුකිරීම සඳහා නව දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගනිමින්, නාවික විනය හා මනාපාලනය උපරිම මට්ටමින් පවත්වා ගනිමින්, සුරක්‍ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා අධිෂ්ඨානශීලී කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත් එහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
තවද, නාවික හමුදාධිපතිගේ වයඹ විධාන සංචාරයට සමඟාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය විසින් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් වයඹ නාවික විධානය තුල පවත්වාගෙන යනු ලබන සුභ සාධන අළෙවිසැල්, පෙරපාසල් සහ යෝගට් ව්‍යාපෘතිය ඇතුළු සේවා වනිතා ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, එම ව්‍යාපෘති සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කෙරිණි.