නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇහැටුවාගම, අමුණුකොලේ, අඩම්පනේ සහ කටුපත් වැව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 06 වැනි දින සිදු කෙරිණි.

මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1103ක් ජනතා අයිතියට පත් කර ඇති අතර; මෙම මධ්‍යස්ථාන 04 මඟින් ඇහැටුවාගම, අමුණුකොලේ, අඩම්පනේ සහ කටුපත් වැව යන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, ‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන දැක්මට සමඟාමීව, පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් සිදුකෙරෙණ මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිර්මාණය කර ජනතා අයිතියට පත් කරනු ලබයි.