ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත මුහුදේ කොරල් පරිසර පද්ධතිය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත මුහුදේ කොරල් පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයට හානි ගෙන දෙන ලෙස කොරල් පර මත රැඳී ඇති ධීවර දැල්, ප්ලාස්ටික් කැලිකසල ඇතුළු සුන්බුන් සහ ආක්‍රමණශීලී ජීවීන් ඉවත් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක්, ජගත් පරිසර දිනයට සමඟාමීව, 2025 ජුනි මස 02 වැනි දින, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, ඒ සඳහා කිමිදුම් සහාය ලබාදෙමින්, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” සංකල්පය යථාර්තයක් කර ගැනීම වෙනුවෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශ්වයන් ගණනාවක දායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින්, පරෙවි දූපත ආශ්‍රිත කොරල් පරිසර පද්ධතිය පිරිසිදුකර, ඒ මත තැම්පත්ව තිබු ප්ලාස්ටික් සහ ධීවර දැල් ඇතුළු සුන්බුන් සාර්ථකව ඉවත් කිරීමට හැකි විය.

තවද, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ, කොරල් පරිසරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදුන් පළමු අවස්ථාව ලෙසද මෙය සනිටුහන් විය.