යාත්‍රා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ සමුද්‍රීය බල ප්‍රදේශ දැනුවත් කිරීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ කාර්යාලය මඟින් (United Nations Office on Drugs and Crime - UNODC). ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් (Regional Visit, Board, Search, and Seizure - VBSS) සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සහ සමුද්‍රීය බල ප්‍රදේශ දැනුවත් කිරීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රධානය 2025 මැයි මස 30 වැනි දින විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන යටතේ (Global Maritime Crime Programme - GMCP) සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවන් 2016 වර්ෂයේ සිට ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව, 2025 මැයි මස 19 වැනි දින ආරම්භ කරන ලද, මෙම පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවික හමුදා පුද්ගලයින් දාහතර දෙනෙකු (14), බංගලාදේශ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන් දෙනෙකු (03), මාලදිවයින වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් සිව් දෙනෙකු (04), ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් පස් දෙනෙකු (05), රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් දෙදෙනෙකු (02) සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහනේ පුහුණු කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක Filipe Henriques Teixeira Ramos මහතා ඇතුළු එම කණ්ඩායමේ නියෝජිතයින්, ඇ‍මරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අපරාධ විමර්ශණ සේවාවේ (Naval Criminal Investigative Service) නිලධාරීන්, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිලධාරීන් සහ නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේ පුහුණු කාර්යය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.