නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ නිල සංචාරයක නිරත වෙමින්, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ සහ නැගෙනහිර විධානයට අනුයුක්ත නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අමතා, දියත් විධානයේ සහ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ මෙහෙයුම්, පුහුණු කටයුතු සහ නාවිකයන්ගේ සුභසාධන කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම, 2025 මැයි මස 31 වැනි දින නැගෙනහිර විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ ධජ නිලධාරී නාවික දියත් විධානය සමඟ, නැගෙනහිර විධාන මූලස්ථාන ශ්‍රවනාගාරයේදී හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ සහ නැගෙනහිර විධානයට අනුයුක්ත නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ඇමතීම සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව වෙත පැවරී ඇති වගකීම සාර්ථකව ඉටුකිරීම සඳහා නාවික හමුදා නෞකා බලඇණියේ සහ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය හා සූදානම අපේක්ෂිත මට්ටමට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.

එමෙන්ම, නෞකා සහ යාත්‍රා ක්‍රියාකාරී තත්වයේ පවත්වා ගැනීම සඳහා පවත්නා ගැටළු, පුහුණු කටයුතු සහ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පිලිබඳ එහිදී වැඩිදුරටත් අණදෙන නිලධාරීන් සමඟ සාකච්ඡා කල නාවික හමුදාධිපති, නීති විරෝධී ධීවර කටයුතු ඇතුළු සාගරය ඔස්සේ සිදුකෙරෙණ ජාවාරම් මැඩපවත්වා, ස්ථායි සාගර කලාපයක් පෝෂණය කිරීම වෙනුවෙන් නාවික හමුදාවට පැවරී ඇති වගකීම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටුකිරීම සඳහා, අනෙකුත් සහෝදර සේවාවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්‍රවේශයකින්, වෘත්තීයභාවයෙන් සහ කැපවීමෙන් දායකත්වය ලබාදිය යුතු බවට වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

තවද, මෙම නිල සංචාරයේදී නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව නිරීක්‍ෂණය සඳහා සහභාගී වීමෙන් අනතුරුව, නැගෙනහිර විධාන නෞකා හා යාත්‍රා අලුත්වැඩියා වැඩපලෙහි නිරීක්ෂණ සංචාරය සිදුකරමින්, එම පරිශ්‍රයේ සිදුකෙරෙණ අලුත්වැඩියා කටයුතු කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ද සිදුකෙ‍රිණි.