07 වැනි වරටත් සංවිධානය කෙරුණු ‘සැපයුම් සමුළුව - 2025’ සැපයුම් ක්‍රියාවලියේ නව විභවයන්හී ධාරිතා වර්ධනය කරමින් සාර්ථකව නිමාවට පත්විය
දිර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලා අංක 09 විසින් සංවිධානය කරන ලද 07 වැනි ‘සැපයුම් සමුළුව - 2025’, ‘Leveraging Adaptive Logistics in Building Resilient Supply Chains in a Volatile Global Economy’ යන තේමාව යටතේ 2025 මැයි මස 31 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.
මෙවර සමුළුවේ ප්‍රධාන දේශණය කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ මහාචාර්ය රවී දිසානායක මහතා විසින් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන දේශන, පර්යේෂණ පත්‍රිකා හතක් (07) ඉදිරිපත් කිරීමට සමඟාමීව විද්වත් සහ විශ්ලේෂණාත්මක අදහස් දැක්වීම්ද ඇතුලත්විය. ඒ අනුව, මෙම සමුළුව උප තේමාවන් තුනක් යටතේ පැවැත්වූ අතර, එම උප තේමාවන් ලෙස Digital Transformation in Supply Chains: Leveraging Technology for Agility and Efficiency, Risk Management and Crisis Response: Building Resilience to Global and Local Market Fluctuations, Sustainable Logistics Practices: Incorporating Environmental Responsibility into Supply Chains දැක්විය හැක. මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාල සහ අනෙකුත් පුහුණු ආයතනවල විද්වතින් හා වෘත්තිකයන්, නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, සැපයුම් අංශයේ විශ්‍රාමික අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, යුධ සහ ගුවන් හමුදා සේවා වල නිලධාරීන් සහභාගී විය.
එහිදී සමුළුව අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති විසින්, සැපයුම් ක්‍රියාවලිය තීරණාත්මක වශයෙන් වැදගත් උපායමාර්ගික ප්‍රමුඛතාවයක් වන බවත්, ඕනෑම නාවික මෙහෙයුමක ව්‍යුහයට පාදක වූ තීරණාත්මක සාධකය ලෙස සැපයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත්, පවසන ලදී. තවද, සැපයුම් ක්‍රියාදාමය; නවෝත්පාදනය, ඩිජිටල් කරණය, පාරිසරික තිරසාරභාවය සහ විශේෂයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයෙන් දියුණු කිරීම ඉතා වැදගත් බව අවධාරණය කරන ලදි.
ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම යටතේ 09 වැනි දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ නිලධාරීන් විසින් විද්‍යාපීඨ කාර්ය මණ්ඩලයේ සහයෝගය ද ඇතිව සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර (විශ්‍රාමික), අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් මංජුල දිසානායක, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණූ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානය සහ එක් එක් නාවික විධාන නියෝජනය කරමින් නාවික හමුදා සැපයුම් අංශයේ ප්‍රධානීන්, යුද, ගුවන් සහ පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්, විදේශීය නාවික හමුදා නිලධාරීන් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.