නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අද (2025 මැයි 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1991 වසරේදී, 21 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හී අණභාර නිලධාරී ලෙස සහ නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදුකොට ඇත. තවද, ඔහු නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, අධ්‍යක්‍ෂ නාවික ප්‍රථිපත්ති හා සැලසුම්, ආඥාපති දකුණු නාවික පෙදෙස, ආඥාපති බටහිර නාවික පෙදෙස, ආඥාපති ස්වේච්ඡා නාවික හමුදාව, ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.