නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම බලඝණයට අයත්, නාවික හමුදා පුද්ගලයින් අමතා, නාවික හමුදා මෙහෙයුම් සහ පුහුණු කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම, 2025 මැයි මස 18 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සමඟ විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානය වෙත නිල සංචාරය සඳහා පැමිණි නාවික හමුදාධිපති එම මූලස්ථානය වෙත පිළිගැනීම විශේෂ යාත්‍රා බළඝණයේ අණදෙන නිලධාරී විසින් සිදුකිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් නිලධාරීන් සහ නාවිකයන් ඇමතීම සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව වෙත පැවරී ඇති වගකීම සාර්ථකව ඉටුකිරීම සඳහා විශේෂ යාත්‍රා බළඝණයේ වෘත්තීයභාවයෙන් හා කැපවීමෙන් යුත් දායකත්වය අගය කරනු ලබන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, විශේෂ යාත්‍රා බළඝණයේ මෙහෙයුම් සූදානම සහ හැකියාවන් උපරිම මට්ටමින් පවත්වාගෙන යාම නාවික හමුදා‍ව විශේෂ යාත්‍රා බළඝණය වෙතින් අපේක්‍ෂා කරන බවත්, ඒ සඳහා අවශ්‍ය අඛණ්ඩ පුහුණුව, නව දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීම සඳහා සෑම නාවික හමුදා පුද්ගලයකුගේම කැපවීම අත්‍යඅවශ්‍ය බවත් එහිදී අවධාරනය කෙරිණි.

තවද, මෙම නිල සංචාරයේදී විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේ අසමමිතික සංග්‍රාමික උපක්‍රම පිළිබඳ පාඨමාලාව හදාරණු ලබන විදේශීය නිලධාරීන් හා නාවිකයන් සමඟ නාවික හමුදාධිපති විසින් සුහද අදහස් හුවමාරුවක් සිදුකිරීමෙන් අනතුරුව, විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේ සුභසාධන පහසුකම් නිරීක්‍ෂණය කර, එම පරිශ්‍රයේ සිදුකෙරෙණ සංවර්ධන කටයුතු කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ද සිදුකෙ‍රිණි.