ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය කොළඹදී ආරම්භ වෙයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය අද (2025 මැයි 19) ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහි සමාරම්භක දේශනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකෙරිණි.

1948 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින ආරම්භ වී ඇති ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය ලොව විශාලතම බහුවිධ සංවිධානයක් වන අතර, එය සාමාජික රටවල් 140ක සන්නද්ධ හමුදා සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන ගෝලීය ක්‍රීඩා සංවිධානයක් වේ.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය අමතමින් ප්‍රධාන දේශනය සිදුකල නාවික හමුදාධිපති, ‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන උදාර ආදර්ශ පාඨය පෙරදැරිව වසර 77ක් වැනි දීර්ඝ කාලයක් පුරා, සාමාජික රාජ්‍යයන් 140ක සන්නද්ධ හමුදා වෙනුවෙන් විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරමින් එම සංවිධානය ලෝක සාමය වෙනුවෙන් සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීමට ලක්කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ක්‍රීඩාව තුලින් රාජ්‍යන් අතර පවත්නා බැඳීම හා එකමුතුකම තවදුරටත් ශක්තිමත් වන බවත් පවසන ලදී. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා දේශයේ ආරක්‍ෂකයා ලෙස සුවිශේෂී කාර්යයභාරයක් සිදුකිරීමට සමඟාමීව, ජාතික තලය වෙත දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායාද කිරීමටද කැපවන බව පැවසූ නාවික හමුදාධිපති, ඒ සඳහා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විශාල දායකත්වයක් දක්වන බවත් පවසන ලදී. එමෙන්ම, ක්‍රීඩාව තුලින් හමුදා සාමාජිකයන් තුල ශක්තිමත්ව ගොඩනැගෙන මානසික හා ශාරීරික යෝග්‍යතාවය පමණක් නොව, විනය, දරාගැනීම, ආත්ම විශ්වාසය, කණ්ඩායම් හැඟීම සහ ධෛර්‍ය වැනි නායකත්ව ගුණාංග හා ධනාත්මක ආකල්ප ගොඩනැගීමටත් මහඟු පිටුවහලක් ගෙන දෙන බව පවසන ලදී.

තවද, ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ආරම්භ වූ 2025 වර්ෂයේ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය අද (2025 මැයි 19) සිට මැයි මස 25 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම මෙම මහා සභා රැස්වීමට සමඟාමීව පැවැත්වෙන අප්‍රිකා, ඇමෙරිකා, ආසියා සහ යුරෝපා මහද්වීප රැස්වීම් 2025 මැයි මස 20 වැනි දින කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික යුද සැමරුම් ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීමටද නියමිතව ඇත.