ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය මීටර් 100 ගැඹූර දක්වා කිමිදුම් මෙහෙයුම් පුළුල් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් මෙහෙයුම් හැකියාව පුළුල් කරමින් 2025 මැයි මස 18 වැනි දින ත්‍රිකුණාමලය අලියා දුපත අසල ගැඹුරු මුහුදේ දී, නාවික හමුදා කිමිදුම් කරුවන් නව දෙනෙකුගෙන් (09) යුත් කණ්ඩායමක් මීටර් 100ක් දක්වා කිමිදී නාවික හමුදා කිමිදුම් මෙහෙයුම් පුළුල් කිරීමට සමත් වූ අතර, එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම සුවිශේෂි ජයග්‍රහණය ඇගයීමට ලක් කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ වෘත්තීය නිපුණත්වය හා ප්‍රවීණතාවය පෙන්නුම් කරමින්, දිය යටදී යොදා ගන්නා සංවෘත පරිපථ භාවිතයෙන් මෙම ඓතිහාසික මීටර් 100ක්‌ ගැඹුරට කිමිදීම සඳහා ගෑස් සහ වායූන් සම්මිශ්‍රණයෙන් කිමිදුම් සැලසුම් සකස් කිරීම නාවික හමුදා කිමිදුම්කරුවන් විසින්ම සිදු කෙරිණි.

නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ ශිල්පීය හැකියාව සහ ක්ෂේත්‍රයේ විශේෂඥතාවයද පෙන්නුම් කරමින් අත්කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ, සාගරයේ දිය යට සෙවීම් සහ ගලවා ගැනීම, මුහුදු බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සහ දිය යට බිඳ හෙළීම් ඇතුළු මීටර් 100 ක් දක්වා ගැඹුරකින් යුත් පුළුල් පරාසයක මෙහෙයුම් සාර්ථකව සිදු කිරී‍මේ හැකියාව සහිත කලාපීය නාවික හමුදාවන් අතරට ශ්‍රී ලංකා නාවික හමුදාව ද එක් වේ.

එහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් ගමන් මගෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ කැපවීමෙන් පළමු මීටර් 100 සංවෘත පරිපථ කිමිදීම සාර්ථකව නිම කිරීමට හැකිවීම, ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉමහත් ගෞරවයක්‌ ගෙන දෙන බව පවසන ලදී. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මෙම ජයග්‍රහණය කිමිදුම්කරුවන්ගේ පමණක් නොව, සමස්තයක් ලෙස නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් පුළුල් වීමක් බවත්, දිගුකාලයක් පුරා සිදුකල අඛණ්ඩ අභ්‍යාසයෙන්, ධෛර්යයෙන්, කුසලතාවයෙන් සහ නිහඬ අධිෂ්ඨානයෙන් ලද මෙම ඓතිහාසික සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් උපදේශකයින්ගේ, කිමිදුම්කරුවන්ගේ සහ මෙම ගමනට අඩිතාලම දැමූ සහ මඟ පෙන්වූ දූරදර්ශී සියලු පාර්ශ්වයන්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම ද හේතු වූ බවත් පවසන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික), නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, ජ්‍යෙෂ්ඨතම කිමිදුම් නිලධාරි සහ වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් ඇතුළු ධජ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වූහ .