නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍06ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගට්ටෑව, දම්පෑලැස්සාගම, ගෝනපතිරාව, ධාතුසෙන්පුර සහ පුලියන්කුලම යන ග්‍රාමයන්හී ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) 2025 මැයි මස 16 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

එමෙන්ම, මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 06ත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1097 ජනතා අයිතියට පත් කර ඇති අතර, එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධස්ථාන 06 මඟින් සංගට්ටෑව, දම්පෑලැස්සාගම, ගෝනපතිරාව, ධාතුසෙන්පුර සහ පුලියන්කුලම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන රාජ්‍ය සෞඛ්‍ය දැක්ම අනුව යමින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් සහ වකුගඩු රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමේ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම නාවික සමාජ සත්කාර ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යයි.